කොවිඩ් සමයේ අම්මාවරුන්ගේ දින සැමරුම සිව් නිවුන් දරු උපතකින්

 කොවිඩ් සමයේ අම්මාවරුන්ගේ දින සැමරුම සිව් නිවුන් දරු උපතකින්

අම්මාවරුන්ගේ දිනය යෙදුණු අද (10) අනුරාධපුරයේ  පදිංචි තිස්හතර හැවිරිදි මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිව් නිවුන් දරුවන් මෙළොවට බිහි කළාය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රමුඛ වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින්  අද (10) පෙරවරුවේ සිසේරියන් සැත්කමක් මගින් මෙම දරුවන්ට උපත ලබා දුන්හ.

මෙම දරුවන් සිව්දෙනා බිහි කිරීමත් සමඟ විජිතානි අනුරාධා හා උදාර ජයරත්න යන දෙදෙනා විවාහවී සිව් වසකරට පසු මාපිය පදවිය ලැබූහ.

ගැහුණු දරුවන් තිදෙනා පිළිවෙළින් ග්රෑම් 1600,1500 හා 1100 ක බරින් යුක්ත වූ බවත් ඒ අතරින් අඩුම බරක සිටියේ  පිරිමි දරුවා බවත් පැවසූ මහචාර්ය කපිල ගුණවර්ධන මහතා ඔහු ග්රෑම් 1000 ක බරකින් යුක්ත බවද ප්‍රකාශ කළේය.

අඩු බරකින් යුක්ත වීම නිසා ගැහැණු දරුවන් තිදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයටත් පිරිමි දරුවා පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක ළමා රෝහලේ නොමේරු ළඳරු ඒකකයටත් ඇතුළත් කර තිබේ.

දරුවන් සිව් දෙනෙකු කුස තුළ සිටියදී තරමක අවධානමක් මතුවන නිසා දරුවන්ගේ මව වන විජිතානි අනුරාධා පුරා මාසයක පමණ කාලයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව තබා ගැනීමට වෛද්‍යවරු පියවර ගෙන ඇත.

දරු ගැබට මාස 08 කුත් සතියක් ගතව තිබියදී සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහි කිරීමට තීරණය කළ බව මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේය.

දරුවන්ගේ මව රජයේ බැංකුවක සේවය කරන අතර පියා ඇඟළුම් ආයතනයක සේවය කරයි.

රජය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ හා සෙසු කණ්ඩායම් සමඟ එක්ව කොවිඩ්-19 වෛරසය සැලකිය යුතු අන්දමින් පාලනය කිරීම නිසා මෙම මවට කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව දරුවන් සිව් දෙනා ප්‍රසූත කිරීමට අවස්ථාව ලැබුණු බවද කපිල ගුණවර්ධන මහතා පැවසුවේය.

තම බිරිඳ සිව් නිවුන් දරුවන් බිහි කිරීමට සිටින බව වෛද්‍යවරු දැනුම් දීමෙන් පසු අනුරාධපුරයේ සිට මහනුවරට පැමිණීම දුෂ්කරවූ නිසා මාසිකව රුපියල් 22000.00 ක මුදලක් ගෙවා පේරාදෙණිය රෝහල ආසන්නයේ නිවසක් කුලියට ලබාගත් බවත් කුමන අසීරුතා තිබුණත් යහපත් දරුවන් සිව් දෙනෙකු රටට දායාද කිරීම පිණිස කැපවන බවත් දරුවන්ගේ පියාවන උදාර ජයරත්න මහතා කීය.

දරු ප්‍රසූතිය සඳහා සහය වූ වෛද්‍ය හා හෙද කණ්ඩායම

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *