කොවිඩ් රෝගීන් 1000 කට එකවර ප්‍රතිකාර ලබාගත හැකි මධ්‍යස්ථානයක්

ගිලන් වූවන්ට උපස්ථාන කිරීම තමන් වහන්සේට උපස්ථාන කළා හා සමාන බව බුදුන් වදාළ බවත් මේ නිසා බුදු මඟ යන ගිහි පැවිදි දෙපක්ෂයම  ගිලනෝපස්ථානය සඳහා අමුතුවෙන් පෙළඹවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ විහාරාධිකාරී පූජ්‍ය නාලන්දේ පවර නාමියෝ පවසති.

කොවිඩ් රෝගීන් 1000 කට එකවර ප්‍රතිකාර ලබාගත හැකි ලෙසින් කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ ස්ථාපිත කළ මධ්‍යම පළාතේ විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (12) විවෘත කළ අවස්ථාවේ පවර හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

මහමෙව්නා අසපුවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානාන්ද නාහිමියන්ගේ පූර්ණ එකඟතාව හා අනුශාසනා පරිදි නාලන්දේ පවර හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම ස්ථානය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩකටයුතු සිදු කෙරුණි.

රෝගිවූ අයෙකුට උපස්ථාන කිරීම බුද්ධ පූජාවක් බවත් මේවන විට කොවිඩ් රෝගීන් ඉහළ යමින් තිබෙන බැවින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල අවශ්‍යතාව තදින් දැනෙමින් තිබුණු මොහොතක මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සහ ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බලා මහමෙව්නා අසපුවේ ධර්මශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා ලබාදීමට තීරණය කළ බවද පවර හිමියෝ ප්‍රකාශ කළහ.

කොවිඩ් ආසාදිතව මෙම ස්ථානයට පැමිණෙන රෝගීන් මෙම ස්ථානයේ දින ගණනක් ගතකර පිටව යන්නේ අධ්‍යාත්මික සංවර්ධනයද යම් ප්‍රමාණයකට ළඟාකර ගනිමින් බවද උන්වහන්සේ පැවසූහ.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍යය ඇඳන් හා වෛද්‍ය උපකරණ මාස් (MAS) සමූහ ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් රුපියල් ලක්ෂ 120 ක වියදමක් දරා ලබාදී ඇත.මධ්‍යම පළාත් සභාව මගින් මේ සඳහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැයකර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින් මේ රටේ ව්‍යසනයක් ඇතිවන අවස්ථාවක පාට,පක්ෂ,නිකාය ප්‍රශ්න පැත්තක තියලා එකට එකතු වන තත්ත්වයක් රටේ තිබෙන බවත් එයට හේතුව බෞද්ධ පදනම ඔස්සේ ගොඩනැගුණු සංස්කෘතියකට අනුගතව අප හැදීවැඩී තිබීම බවත් පැවසුවේය.

කොවිඩ් ගැටලුව මතුවූ මුල් අවස්ථාවේ ඒ වෙනුවෙන් වෙන්කළ දැඩි සත්කාර ඒකක ඇඳන් තුනක් හා පී.සී.ආර් යන්ත්‍ර එකක් පමණක් තිබූ බවත් අදවන විට ඒ වෙන්වූ දැඩි සත්කාර ඒකක ඇඳන් 161 සහ පී.සී.ආර් යන්ත්‍ර ගණනාවක් තිබෙන බවත් කීවේය.

සිතුවොත් කළ නොහැක්කක් නොමැත යන්න සනාථ කිරීමට මෙය හොඳම උදාහරණයක් බවත් අධ්‍යාත්මික පසුබිමක් සමඟ ප්‍රතිකාර ලබාදෙන ලංකාවේ එකම මධ්‍යස්ථානය මෙය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා කතා කරමින් මේ රටට අභියෝගයක් එල්ලවන සෑම අවස්ථාවකට මහ සංඝරත්නය පෙරට එන බවත් මේ අවස්ථාවේදීද උන්වහන්සේලා එම සේවය ලබා දෙමින් සිටින බවට හොඳම උදාහරණය මෙය බවත් පැවසුවේය.

මෙම ස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට යුද හමුදාව ශ්‍රම දායකත්වය ලබාදුන් බවද ඒ මහතා කීය.

මාස් ඇක්ටිව් කොන්ට්‍රවලයින් හි මානව සම්පත් කළමනාකාර සමීර පෙරේරා මහතා කතා කරමින් පෞද්ගලික ආයතනයක් ලෙස සමාජ වගකීම වටහා ගනමින් රුපියල්  මිලියන 12 ක මුදලක් මෙම කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ලබාදුන් බවත් මින් ඉදිරියට එහි වැඩකටයුුතු පවත්වාගෙන යාමටද ආයතනයේ සහය ලබාදෙන බවත් පැවසු‍වේය.

රටක් ලෙස නොව සමස්ත ලෝකයක් කොවිඩ් අර්බුදයකට මුහුණ දී සිටින බවත් පෞද්ගලික ආයතනයක්  ලෙස ඊට අනුගත වෙමින් ප්‍රජා සත්කර රැසක් දියත් කිරීමට මාස් සමූහ ව්‍යාපාරය තීරණය කර තිබෙන බවත් ඒ මහතා කීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන දිළුම් අමුණුගම,ලොහාන් රත්වත්තේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර,ගුණතිලක රාජපක්ෂ,උදයන කිරිඳිගොඩ,මහචාර්ය රංජිත් බණ්ඩාර,මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී නිමලසිරි,කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.අක්මීමන,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.ජයවික්‍රම,මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය,මාස් ඇක්ටිව් කොන්ට්‍රවලයින් හි සාමාන්‍යාධිකාරී චන්දන පෙරේරා යන ප්‍රතිකාර මධ්‍යස්ථානය භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී චමින්ද ඒකනායක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.