කොවිඩ් එන්නත – ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කරන්නැයි රජයේ පශු වෛද්‍යවරු ඉල්ලති

දියර කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමේ ජනපති දැක්ම යථාර්තයක් බවට පත් කිරීම සඳහා ක්ෂේත්‍රයට ගොස් රාජකාරී කරන පශු වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති,වෛද්‍ය නලීන් රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් සම්බන්ධ ඍජු රාජකාරී වල නිරත නොවුනත් ක්ෂේත්‍ර රාජකාරී වල පශු වෛද්‍යවරු හා එම කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරත වන බැවින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවධානමක් තිබෙන බවද ඒ මහතා කීය.

මහනුවරදී අද (11) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකශ කළේය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සේවය කරන පශු වෛද්‍යවරු,සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් ඇතුළු කාර්ය මණ්ඩල මේවන විට දිවයින පුරා විසිරී ඇති රජයේ පශු වෛද්‍ය කාර්යාල හා රජයේ සත්ත්ව ගොවිපොළ වල අත්‍යවශ්‍යය සේවාවන්හි දෛනිකව නිරත වන බවද ඒ මහතා පැවසුවේය.

ගොවිපොළ වලට ගොස් සතුන්ට අවශ්‍යය ප්‍රතිකාර ලබා දීමේදී එම සතුන් මෙල්ල කර ගැනීමට අයිතිකරුගේ හා වෙනත් පුද්ගල සහය අනිවාර්යයෙන්ම ලබා ගැනීමට සිදුවන බවත් එම අවස්ථාවල දුරස්ථ භාවය පවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් පවසන සභාපතිවරයා මෙවැනි කරුණු හේතුවෙන් පශු වෛද්‍යවරු හා එම කාර්යමණ්ඩල සාමාජිකයින් කොවිඩ් වෛරසයට ගොදුරු වීමේ වැඩි අවධානමක් තිබෙන බවද අවධාරණය කළේය. රජයේ පශු වෛද්‍යවරු අටසීයක පමණ සංඛ්‍යාවද සමඟ කාර්ය මණ්ඩල සමස්තව හයදහස නොඉක්මවන බවත් මෙම පිරිසකට එන්නත් ලබාදීම කිසිදු ගැටලුවකින් තොරව සිදුකළ හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය සමිත් ප්‍රසන්ත කුමාර මහතා අදහස් දක්වමින් සත්ත්ව සෞඛ්‍ය,සත්ත්ව අභිජනයනය හා සංවර්ධන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යෑම මගින් මහජනතාවට අවශ්‍යය කිරි,මස් හා බිත්තර ඇතුළු සත්ත්ව නිෂ්පාදන හිඟයකින් තොරව සැපයුම සඳහා මේවන තෙක් කටයුතු කර තිබෙන බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුව තිබෙන බවත් පැවසුවේය.

කොවිඩ් අවධානම දැඩිව පවතින පසුබිමක රජය මගින් කිසිදු සෞඛ්‍යාරක්ෂක මෙවලමක් හෝ ලබාදී නොමැති පසුබිමක පශු වෛද්‍යවරු හා කාර්ය මණ්ඩල විසින් පෞද්ගලිකව ඒවා සපයා ගනිමින් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරත්දී එන්නත්කරණයේදී කුඩම්මාගේ සැලකිලි දැක්වීම කනගාටුවට කරුණක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

දේශපාලන අධිකාරිය හා බලවත් කණ්ඩායම් ඔවුන්ට පමණක් නොව සමාජික පවුල් වලට පවා විවිධ හේතු දක්වමින් එන්නත් ලබා ගනිමින් සිටින බවත් මේ නිසා රටේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ යන තත්ත්වයකට පත්ව තිබෙන බව අකමැත්තෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

රට වර්තමානයේ පත්ව තිබෙන අසීරුතාව තේරුම් ගෙන පශු වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් තම සේවය අඛන්ඩව ලබා දෙමින් සිටින බවත් මේ නිසා සංචරණ සීමා තිබෙන මොහොතක වුවත් අඛන්ඩව මහජනතාවට අවශ්‍යය කිරි,බිත්තර,මස් හිඟයිකින් තොරව ලබා දීමට හැකිවී තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

අයාලේ යන එන්නත්කරණය වැඩපිළිවෙළ කොයි මොහොතේ හෝ නිසි මාර්ගයට යොමුවේවි යැයි අපේක්ෂා කළත් එය සිදුවන තත්ත්වයක් පෙනෙන්නට නොතිබෙන බවත් එන්නත්කරණ ප්‍රමුඛතා ලැයිස්තු සකස්කර තිබෙන්නේ විද්‍යාත්මක පදනමක් මත යැයි කියන කාරනය වචනයකට පමණක් සීමාවී තිබෙන බවත් ඒ මහතා කීය.

සත්තු අසනීප වීම,පැටව් දැමීම සිදුවන්නේ අපට අවශ්‍යය වෙලාවට නොවන බවත් දැන් සංචරණ සීමා පනවලා තියෙන්නේ ඒක ඉවර වෙනකල් ඉඳලා ලෙඩ වෙන්න,පැට්ව් දාන්න කියා සතුන්ට පැවසිමේ හැකියාවක් නොමැති බවත් කී ඒ මහතා කුමන සීමා තිබුණත් පශු වෛද්‍යවරු හා එම කාර්යමණ්ඩල සාමාජිකයින් දෛනික රාජකාරි ඉටුකරන බවද අවධාරණය කළේය.

මේ ආකාර අභියෝගයක් තිබෙන කණ්ඩායමක් එන්නත්කරණ විද්‍යාත්මක ක්‍රමයෙන් හලා දැමීම කිසිවෙකු හෝ අනුමත නොකරන බවත් මෙය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට කිරෙන් ස්වයංපෝෂිත කිරීමේ සෞභග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට කරනු ලබන අභියෝගයක් බවත් වෛද්‍යවරයා කීය.

සංචරණ සීමා පනවා තිබියදී නිරූපිකාවක් ඇතුළු පිරිසක් උපන්දින සාදයක් පවත්වා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඇගේ අවශ්‍යතාව එක කෝල් එකෙන් විසඳා දෙන විද්වත් දේශපාලන මණ්ඩලයක් මේ මොහොතේ සිටින බවත් පශු වෛද්‍යවරු හා එම කාර්යමණ්ඩල සාමාජිකයින් ඉල්ලන්නේ ඔවුන්ට මෙම එන්නත ලබාදෙන ලෙස පමණක් බවත් ඒ මහතා කීය.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය එස්.ඒ ශීලනාථ මහතා අදහස් දක්වමින් විෂය භාර ඇමැතිවරයා මේ සම්බන්ධව මැදිහත්වී කටයුතු නොකිරීම පිළිබඳව කනගාටු වන්නේ යැයි පැවසීය.

මෙරට වැඩිම දියර කිරි නිෂ්පාදනයක් කරනු ලබන නුවරඑළියේ එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙන බවත් අනෙකුත් සියලුම වෘත්තීන්ට අයත් ක්ෂේත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමට කටයුතු කරත්දී පශු වෛද්‍යරු හා එම කාර්යමණ්ඩල සාමාජිකයින් අමතක කර අදාළ වැඩපිළිවෙළ දියත් කෙරෙන බවත් ඒ මහතා කීය.

අද රටේ එන්නත් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඉහළ පරිපාලන තනතුරු දරන නිලධාරීන්ගේ අමනෝඥ ක්‍රියා නිසා සෞභාග්‍යයේ ඉදිරි දැක්මට ඉදිරියක් නැති වෙමින් යන බවත් හෙතෙම පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.