කොරෝනා හේතුවෙන් අපහසුවට පත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට සහන

 කොරෝනා හේතුවෙන් අපහසුවට පත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට සහන

මත්කුඩු ඇතුළු විවිධ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ පිරිස් කොරෝනා වෛරස් බලපෑම හේතුවෙන් සිදුවූ ඇඳිරි නීති පැනවීමත් සමඟ මත්ද්‍රව්‍ය නොමැතිව විවිධ අපහසුතාවන්ට ලක්ව සිටින බවට තොරතුරු ලැබෙන බවත් ඒ අය වෙනුවෙන් සහන සේවයක් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ආරම්භ කර තිබෙන බවත් එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. කොරෝනා වෛරස් බලපෑම් හේතුවෙන් රටම අකර්මන්‍ය වී තිබෙන මේ අවස්ථාවේ රට තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යය ජවාරම් කරුවන්ද යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය වී සිටින බවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඒවායින් ඈත් වීම සඳහා මෙම අවස්ථාව පාවිච්චි කිරීමට වෙහෙසිය යුතු බවත් ඒ මහතා කීය.

හෙරෝයින් මත්කුඩු භාවිතයට හුරුවූ ලක්ෂයක පමණ පිරිසක් මෙරට සිටින බවට සංඛ්‍යා ලේඛන තිබෙන නමුත් එම අගය ලක්ෂ තුනක් හෝ හතරක් පමණ විය හැකි බවට අනුමාන කළ හැකි බවත් මෙයට අමතරව අයිස් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන තවත් විශාල පිරිසක් සිටින බවත් වෙලගෙදර මහතා පැවසුවේය.

මත්ද්‍රව්‍ය  භාවිතයට හුරුවූ අයට ඒවා නොමැති වූ විට අධික දහදිය දැමීම, බඩගින්න, මස් පිඩු වේදනාව, මීමැස් මොරය වැනි ලක්ෂණ පහළ වන බවත් ඒවා හැකි තරම් ඉවසා සිටීම මගින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වීමට මඟ පාදා ගත හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙය ස්වභාවධර්මයෙන්  ලබාදුන් ස්වර්ණමය අවස්ථාවක් ලෙස සලකා කටයුතු කළ යුතුව තිබෙන බවත් කොරෝනා වෛරසය නිසා මරණය අත්වීමට ඉඩක් ඇතිමුත් මත්ද්‍රව්‍ය නොමැති නිසා ඇතිවන අපහසුතා නිසා කිසිවකුත් මරණයට පත් නොවන බවත් ඒ මහතා කීය.

මත්ද්‍රව්‍ය නොමැති නිසා කිසියම් හෝ අපහසුතාවකට ලක්වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග දැන ගැනීමට අවශ්‍ය නම් 0710-301301 දුරකතන අංකයට කතාකර උපදෙස් ලබා ගැනීමට හැකි බවත් ඒ සම්බන්ධ රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා වන බවත් වෙලගෙදර මහතා පැවසුවේය. 

වෛද්‍ය ලක්නාත් වෙලගෙදර, සභාපති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *