කොරෝනා, හිතුවට වඩා පැතිරෙන්න පුලුවන්

මෙම ලිපිය පළවනවිට ලංකාව තුළ කොරෝනා වැළඳුන පළමු රෝගියා සොයා ගෙන තිබෙනවා. ඇය චීන කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ.
නව මාරාන්තික කොරෝනා වෛරසය යටත් පිරිසෙයින් රටවල් 14කින් පමණ මේ වනවිට වාර්තා වෙනවා. 27 සඳුදා දිනයේ තහවුරු කළ ආසාධිත රෝගීන් ගණන 2794ක් වනවිට ලොව වටා වෛද්‍ය සුපරීක්ෂණය යටතේ පසුවන පිරිස දහස් ගණනක්. නවතම වාර්තාවන්ට අනුව මරණයට පත් වූ පිරිස 81ක්.
නමුත් පුරෝකථනය කෙරී ඇත්තේ තවත් මරණ සිදුවෙන්නට පුලුවන් බව. “ව්‍යාධි ලක්ෂණ පෙන්වීමට පෙර මෙම වෛරසයට ව්‍යාප්ත වෙන්නට පුලුවන්”, චීන සෞඛ්‍ය ඇමති මා ෂියොවෙයි ඉරිදා පැවසුවේ ඒ නිසාම එය ජනයා අතර ව්‍යාප්ත වීම මැඩලීම අසීරු බව පෙන්වා දෙමින්. ආසියාව, ඇමරිකාව, යුරෝපය හා ඔස්ට්‍රේලියාවෙත් තහවුරු කරන ලද වාර්තාවීම් ඔස්සේ වෛරසයේ පැතිරීම පෙන්නුම් කරද්දී ඒ සියලු සිදුවීම් චීනයේ හුබෙයි පළාතේ හෝ ඒ ආසන්නයේ සිට පිටතට ගිය පුද්ගලයින් නිසා වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. නමුත් ඉදිරි දිනවල මේ රටවල තවදුරටත් වෛරසය පැතිර යාදැයි යන්න ගැන විමසිලිමත් විය යුතුයි. තහවුරු කරන ලද සිදුවීම් වාර්තා වන්නේ චීන ප්‍රධාන භූමිය, හොංකොං, මැකාවු, තායිලන්තය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, තායිවානය, ප්‍රංශය, දකුණු කොරියාව, වියට්නාමය, කැනඩාව සහ නේපාලයෙනි. සිදුව ඇති සියලුම මරණ චීනයේ හූබෙයි පළාතෙන් අසන්නට ලැබේ.
පිපිරීම වර්ධනය වෙමින් තිබේ
පිපිරීමේ පරාසය රඳා පවතින්නේ, වෛරසය කොතරම් ඉක්මනට සහ පහසුවෙන් මිනිසුන් අතර පැතිරෙන්නේද යන්න මතයි. ජනවාරි 18 වෙනිදා සිට ලන්ඩන් ඉම්පීරියල් කොලීජියේ නට්සුකෝ ඉමායි සහ සගයින් රැස්කරන ලද දත්තවලට අනුව වෛරසය ආසාධනය වූ පුද්ගලයෙකු තවත් මිනිසුන් 1.5ක සිට 3.5ක් දක්වා ගණනකට එය ව්‍යාප්ත කරන්නට දායක වෙනවා. මීට සමාන ඇස්තමේන්තු භාවිතා කරමින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ රොබින් තොම්ප්සන් පුරෝකථනය කරන්නේ, වෛරසය ආසාධනය වී එක්සත් රාජධානියට පැමිණෙන අයෙකුට එය සෙස්සන්ට තිළිණ කිරීමේ තුනෙන් එකක අවස්ථාව තිබෙන බවයි. මේ පුරෝකථනය සිදුවීම ආරම්භයේ සිට ලබාගත් දත්ත මත පදනම් වෙනවා. තොම්ප්සන් අපේක්ෂා කරන්නේ, වෛරසය පැතිරීම පාලනයට රටවල් ලෙස ගන්නා ක්‍රියාමාර්ග අනුව එවැනි ව්‍යසනයක් සිදුවීමට ඇති අවස්ථා අවම වනු ඇති බවයි. නමුත් තවමත් අපි වෛරසය ගැන වැඩිමනත් දේවල් නොදන්නා තත්ත්වයකදී, ඇතැම් පර්යේෂකයෝ ප්‍රකාශ කරන්නේ වෛරසය ඇස්තමේන්තුගත මට්ටමට වඩා ඉක්මනින් පැතිර යා හැකි බවයි. ජනවාරි 10ත් 21ත් අතර රැස් කරන ලද දත්ත මත සිදුකළ අධ්‍යනයකට අනුව ඇස්තමේන්තු කර ඇත්තේ සෑම ආසාධිතයෙකුම තවත් පුද්ගලයින් 3 සිට 5 දක්වා ගණනකට රෝගය ප්‍රදානය කළ හැකි බවයි. හොංකොං හී චීන විශ්ව විද්‍යාලයේ මේ පිළිබඳව සිය සහායකයින් හා වැඩකරන ෂී ෂාඕ පවසන්නේ එය හිතුවාටත් වඩා පැතිරෙන වසංගතයක් බවයි. තොම්ප්සන්ගේ ඇස්තමේන්තුව ගණනය කළේ රෝග ලක්ෂණ පෙන්වන තුරු එය බෝ නොවන්නේය යන උපකල්පනය ඇතිව වූවත් තවදුරටත් එම කල්පිතය වලංගු නොවේ. රෝග ලක්ෂණ පෙන්වන්නට පෙර වෛරසය පැතිර යන්නේ නම් එය සාර්ස් රෝගයට වඩා ඉක්මනින් පැතිරෙන්නේ මන්දැයි පැහැදිලි කළ හැකි බව තොම්ප්සන් පවසයි. ව්‍යාධි පාලනය පිළිබඳ ඇමරිකානු මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ, ඇමරිකා එක්සත් ජනපදයෙන් ආසාධිතයින් පස් දෙනෙකු පමණක් වාර්තා වෙතත්, තවදුරටත් පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට වෛරසය බෝ වීමෙන් රට තුළ කිසියම් ව්‍යාප්තියක් ඇති විය හැකි බවයි.
සාර්ස් ලෙඩෙන් පාඩමක්
2003 වසරේ ගෝලීය වශයෙන් පැතිර ගිය වසංගතයක් වන යටත් පිරිසෙයින් මිනිසුන් 8000ක් ආසාධනය වූ සාර්ස් වෛරසය සහ මෙම නව වෛරසය නිසා හටගන්නා නිව්මෝනියා තත්ත්වය සංසන්දනය කරමු. මේ දෙකම එකම වෛරස පවුලට අයත් වන අතර උණ රෝගය සහ නිව්මෝනියාව ඇති කරයි. මෙතෙක් ප්‍රකාශ වුණේ නව වෛරසය අඩු අවදානම් සහිත බවයි. වාර්තා වන මරණ සහ ව්‍යාප්තිය අනුව ප්‍රකාශිත මරණ අනුපාතය 2.8කි. සාර්ස් රෝගයේ එම අනුපාතය රෝගය වැළඳුණු පුද්ගලයින් 100කට 9.6ක් තරම් ඉහළය. නමුත් වෛරසය මොනතරම් භයානකදැයි කියන්නට තවමත් කල් වැඩිය. තොම්ප්සන් පවසන්නේ අප තවමත් පිපිරීමේ මුල් අදියර අත්විඳින බවයි. “කොරෝනා වෛරසය සාර්ස් රෝගයට වැඩි වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ආසාධිතයින් දහසක් වාර්තා වෙන්නට සාර්ස් මාස කිහිපයක් ගත්තා. නමුත් මෙය සති තුනකින් ආසාධිතයින් 3000ක් වාර්තා කළා” තොම්ප්සන් පවසනවා. සාර්ස් ව්‍යාප්තිය 2004 දී අවසන් වූ අතර එතැන් සිට මේ දක්වා නැවත වාර්තා වුණේ නෑ. වෛරසය වැළදුණවුන් හුදෙකලා කිරීමෙන් සහ ගුවන් මගීන් පරීක්ෂාවට ලක් කිරීමෙන් සෞඛ්‍ය අධිකාරීන් එය සිය පාලනයට නතු කරගත්තා. එවැන්නක් මෙවර සිදු කිරීම වඩා අසීරු වන්නේ රෝග ලක්ෂණ නොපෙන්වාම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීම නිසායි.
එසේම වෛරසය වඩාත් මාරාන්තික සහ ව්‍යාධිජනක තත්ත්වයකට පත්වීමටද ඉඩ තිබෙනවා. කොහොමනමුත් වෛරසය, එය වැළඳුන පුද්ගලයින් තුළදී බිහිසුණු ලෙස වෙනස් වූ බවක් හඳුනා ගැනීමට සාක්ෂි නොමැති අතර පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය අමතා පැවසුවේ වෛරසය ස්ථාවර බවක් පෙන්නුම් කරන බවයි.
අප මේ ගැන කෙතරම් වධ වන්නේ වුවද? ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය අවධානයට භාජනය විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් තවම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නේ, වෛරසයේ අවධානම චීනයේ ඉතා ඉහළ බව සහ කලාපයෙත්, ගෝලීය වශයෙනුත් ඉහළ බව පවසයි. ව්‍යාධි පාලනය පිළිබඳ ඇමරිකානු මධ්‍යස්ථානයට අනුව මෙය ඉතා බරපතල මහජන සෞඛ්‍ය තර්ජනයක්. “පවතින තත්ත්වය පිළිබඳ මම බෙහෙවින් කම්පාවට පත් වෙනවා” විශේෂඥ තොම්ප්සන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වෛරසය චීනයෙන් පිටත ජනයා අතර ව්‍යාප්ත වීම ආරම්භ වූ විටම ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ බවයි. තමන් ඒ පිළිබඳව ඉතාමත් කම්පාවට පත්වන බවද ඔහු පවසනවා.
ව්‍යාප්තිය මන්දගාමී වේ.
මේවනවිට චීන බලධාරීන් රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පෙර නොගත් පියවර වෙත යොමුව තිබෙනවා. වංසගතය ආරම්භ වූ වූහාන් හුදෙකලා කර අවසන්. පොදු ප්‍රවාහන සේවා නවතා ගුවන් තොටුපලද වසා දමා තිබෙනවා. පුද්ගලික වාහනද පිටතට යාම තහනම්. වූහාන් හි ආගමන විගමන සේවාද අත්හිටුවා තිබෙනවා. මිලියන ගණනක ජනයාට බලපාන පරිදි තවත් නගර කිහිපයක් වෙත ප්‍රවේශය හා පිටවීම අත්හිටුවා හුදෙකලා කර තිබෙනවා. චීන බලධාරීන් ලූනා නව අවුරුදු නිවාඩුවද දීර්ඝ කළා. ජනවාරි 30වෙනිදායින් නිවාඩුව අවසන් වීමට තිබුණත් එය පෙබරවාරි 2 දක්වා දීර්ඝ කර නැවත දැනුම් දෙන තුරු පාසල් සහ විශ්ව විද්‍යාලද වසා දමා තිබෙනවා. චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් නිරීක්ෂණය කරන රටවල ලැයිස්තුවද ඉහළ ගොස් තිබෙනවා. මොන්ගෝලියාව සිය චීන දේශසීමාව වසා දැමුවා. මැලේසියාව පැවසුවේ ආසාධනයට ගොදුරු වූ කලාපවල ජනයාට සිය රටට ඇතුළුවීමට වීසා නිකුත් නොකරන බවයි.
ඒ අතර චීන රජය අවන්හල් හා වෙළඳසැල්වල වන සතුන්ගේ මාංශ අලෙවියද තාවකාලිකව තහනම් කළා. වෛරසයේ සම්භවය තවම නිශ්චිතව පැහැදිලි නැතත් එය වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේශනය වූ බව සිතන්නේ, සර්පයින්ගෙන් හෝ මින්ක් මුගටින්ගෙන්ද පැතිරෙන්නට ඉඩ තිබියදී. මේ සියලු සතුන් මුලින්ම සිදුවීම ආරංචි වූ හූනාන්හී සමුද්‍රීය ආහාර මාර්කැට්ටුවේ විකුණන්නට තිබූ බව වාර්තා වෙනවා. වනජීවී ආරක්ෂණ සංගමයේ ඉල්ලීම නම් වනසත්ව මාංශ අලෙවිය ස්ථීරවම තහනම් කරන ලෙසයි. වනජීවී ආරක්ෂණ සංගමයේ ක්‍රිස්ටෝෆ වෝල්සර් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නියාමනය දුර්වල වූ විට සජීවී වනජීවී මාංශ වෙළඳාම නීතිවිරෝධී වනසත්ව වෙළඳාම හා මුසු ව වනසතුන්ගෙන් මිනිසුන්ට වෛරස පැතිරීමට කදිම අවස්ථාවක් ලැබෙන බවයි.
ලසන්ත ද සිල්වා. නිව් සයන්ටිස්ට් ඇසුරෙනි