කොරෝනා සටන පස්සට අදින කටකතා සහ ඕපාදූප වෛරස

 කොරෝනා සටන පස්සට අදින කටකතා සහ ඕපාදූප වෛරස

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

“අහවල් ගමේ අහවල් ගෙදරට කොරෝනා ලෙඩෙක් ඇවිල්ල. මිනිහ ගම හැම තැනම ඇවිදලා. දැන් ඉතින් මුළු ගමම ලොක්ඩවුන් කරන්න තමයි වෙන්නෙ.”බදුල්ලෙ ලංගම ඩිපෝවට සීල් තියල. හරියටම විස්තරේ දන්නෙ නෑ.”දෙකේ කණුවෙ කඩවල් දෙකක්ම සීල් කරල. කොරෝනා හැදිච්ච කෙනෙක් ඒ කඩවල්වලට ඇවිල්ලලූ. හෙට අනිද්ද වෙනකොට මේ පැත්තත් වහල දායි වගේ.” පසුගිය දින දෙක තුළ අපට අසන්නට ලැබුණු, කටින් කට පැතිර ගිය (දූෂමාන) ආරංචි කිහිපයකි ඒ.

මේ දිනවල, සමාජ මාධ්‍ය ජාලා ඇතුළු නොයෙකුත් මාධ්‍ය හරහා මෙන්ම, කටින් කටද පැතිර යන ඕපාදූප සහ කටකතා ගණන විශාලය. ඇතැම් විට මේ කටකතා පැතිරෙන වේගය වෛරසය පැතිරීමේ වේගයට වඩා ඉතා වැඩිය. මේ අතුරින් සමහර ආරංචිවලට යම් සත්‍යමය පදනමක් තිබුණද, ඒවාද අවසානයේ ඔබ වෙත ළඟාවන්නේ දෙතුන් ගුණයකින් වැඩිවූ, අතිශයෝක්තියෙන් බරවූ කතාන්දර ලෙසටය. එමෙන්ම, මෙම ඕපාදූප සහ කටකතාවලින් වැඩි හරියක් සත්‍යයෙන් තොර ගොතන ලද ප්‍රබන්ධ කතා වන්නේය. ජනතාව කලබලයට හා බියට පත්වන අන්දමේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අංශවලට සිදුව ඇත්තේ මේ නිසාය.

වත්මන් කොරෝනා වසංගතය හමුවේ, විවිධ අසත්‍ය තොරතුරු, කටකතා පැතිරීම, ලංකාවට පමණක් විශේෂිත වූ ලක්ෂණයක් නොව, ලෝකයේ සෙසු රටවලටද පොදු ලක්ෂණයක් වන්නේය. පසුගිය දිනවල ඉතාලියේ වැනිස් නුවර ඇළ මාර්ගවල ඩොල්ෆින් මත්ස්‍යයින් පිහිනන බවට වූ ප්‍රවෘත්තිය එබඳු සාවද්‍ය එකක් වන්නේය. එයාකාරයටම, කොවිඩ්-19 වෛරසය කිසියම් විද්‍යාගාරයක නිපදවා හිතාමතාම පරිසරයට මුදාහරින ලද බවට ආරංචියක් ලෝ පුරා පැතිර යන අතර, ඒ බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට මෙතෙක් කිසිවෙකු සමත්ව නැත්තේය. එය තවමත්, විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන කල්පිතයක් පමණක්ම වන්නේය.

ඉතාලියේ වැනීස් නුවර ඇළ මාර්ගවල යළි හංසයන් සේම ඩොල්පින් මසුන් පිහිනන බවට කටකතා ප්‍රචාරය විය

යුධමය තත්ත්වයක් හෝ වසංගත ව්‍යාප්තියක් වැනි අර්බුදකාරී පසුබිමක් තුළ, මෙබඳු ඕපාදුප-කටකතා පැතිරීම සාමාන්‍ය ප්‍රවණතාවයක් වන අතර, ඒ සඳහා හේතු කිහිපයක්ම බලපෑ හැකි බව මනෝ විද්‍යාඥයන්ගේ අදහස වන්නේය. කොරෝනා වසංගතය බඳු වාතාවරණයකදී ජනතාව තුළ හටගන්නා බිය, චකිතය, කාංසාව වැනි හැඟීම්, ඕපාදුප-කටකතා පැතිරීමට තුඩුදෙන ප්‍රධාන සාධකය බව මනෝ විද්‍යාඥයන්ගේ අදහස වන්නේය. ඊට අමතරව, පවත්නා තත්ත්වයේ ඇති අවිනිශ්චිතභාවයද මේ සඳහා උත්තේජනයක් සපයන්නේය.

එංගලන්තයේ ලීඩ්ස් ඛෙකට් සරසවියේ මනෝ විද්‍යාඥ ස්ටීව් ටේලර් පෙන්වා දෙන පරිදි, පවත්නා අවිනිශ්චිතභාවයට අමතරව, සාම්ප්‍රදායික මාධ්‍ය හරහා ජනතාව අපේක්ෂා කරන තරමට තොරතුරු ගලා නොඒමද දූෂමාන ආරංචි පැතිරීමට සෘජුවම බලපාන්නේය. රටේ සමාජයේ පවත්නා සැබෑ තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොමැති විට, ඒ හිඩැස පිරවීම උදෙසා කටකතා පැතිරවීමට ජනතාව ඉදිරිපත් විය හැකි බව මනෝ විද්‍යාඥ ස්ටීව් ටේලර් පෙන්වා දෙන්නේය.

දෙවෙනි ලෝක යුද්ධය සමයේදීද, ඇමෙරිකා එක්සත් ජනපදය පුරාවට නොයෙකුත් කටකතා-ඕපාදූප පැතිරුණු බව වාර්තා වන්නේය. 1941 දෙසැම්බර් 7 දින ජපනුන් විසින් පර්ල් වරායේ පිහිටි නාවික හමුදා කඳවුරට බෝම්බ දැමීමෙන් අනතුරුව, ඇමෙරිකාව දෙවෙනි ලෝක යුද්ධයට පැටළුණේය. ඉන්පසුව ඇමෙරිකානුවන්ගේ මානසික තත්ත්වය වර්තමාන කොරෝනා වසංගත තත්ත්වයට සමාන වූ අතර, මුළු රට පුරාම අවිනිශ්චිතභාවයක් රජ කරන්නට විය. (දෙවෙනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකාවේ පමණක් නොව, මුළු ලෝකය පුරාම පැවතියේ එබඳු වාතාවරණයකි.) එම යුද සමයේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පුවත් වාරණයක් ක්‍රියාත්මක වූ අතර, ඒ හේතුවෙන් ජනතාවට රිසි පරිදි තොරතුරු දැනගැනීමට අවකාශයක් නොවීය. ඒ අනුව, බියෙන් චකිතයෙන් මිරිකී සිටි ඇමෙරිකානුවෝ විවිධ කටකතා පැතිරවීමට පටන් ගත්හ.

තත්ත්වය කෙතරම් බරපතළ වීද යත්, හාවඩ් විශ්ව විද්‍යාලයේ ගෝඩ්න් ඇල්පෝර්ට් සහ රොබට් ක්නැප් යන මනෝ විද්‍යාඥයෝ දෙපළ, 1942දී, “කටකතා සායනය” (Rumor Clinic) නමින් විශේෂ කේන්ද්‍රයක් ආරම්භ කළහ. “බොස්ටන් ඩේලි හැරල්ඩ්” නමැති පුවත්පතක ඇරඹුණු තීරු ලිපියක් මගින්, ජනතාව අතර පැතිරෙන කටකතාවලට පිළිතුරු සැපයීමට (බොහෝ විට නිෂේධනය කිරීමට) හාවඩ් මනෝ විද්‍යාඥයෝ පියවර ගත්හ. ඊට අමතරව, “කටකතා අධීක්ෂකයන්” (Rumor Warden) නමින් හඳුන්වනු ලැබූ පිරිසක් ජනතාව අතරට ගොස්, සමාජයේ පැතිරෙන ඕපාදූප හා කටකතා රැස්කොට හාවඩ් විශ්ව විද්‍යාලයට වාර්තා කළහ. ටික දිනකට පසුව, ඇමෙරිකා එක්සත් ජනපදය පුරා “කටකතා සායන” 50කට වඩා බිහිවූ අතර, යුද්ධයේ අවසාන භාගය වන තෙක්ම ඒවා ක්‍රියාත්මකව පැවතියේය.

කටකතා සායනය

හාවඩ් මනෝ විද්‍යාඥ රොබට් ක්නැප් පෙන්වා දෙන පරිදි, අර්බුදකාරී (අසහනකාරී) පසුබිමක් තුළ මෙයාකාරයට පැතිරෙන කටකතා වර්ග තුනකට ඛෙදිය හැකිය. සතුරු පාර්ශ්වයකට එරෙහිව හිතාමතා පතුරවන කටකතා ඉන් එක් වර්ගයක් වන්නේය. උද්ගත වී ඇති තත්ත්වයට වගකිවයුත්තෙකු (වැරදිකරුවෙකු) සෙවීමට ජනතාව පෙළඹෙන අතර, එහිදී පැරණි එදිරිවාදිකම් මතුවීම ස්වභාවිකය. ඉහත කී පරිදි, කොවිඩ්-19 වෛරසය විද්‍යාගාරයක කෘතිමව නිෂ්පාදනය කොට මුදාහරින ලද බවට වීනයත් ඇමෙරිකාවත් එකිනෙකාට චෝදනා නගමින් ගෙනයන ප්‍රචාරය මෙම වර්ගයට අයත් වන්නේය. ජනතාව අතර බිය, සංත්‍රාසය ඇතිකරලීමේ අරමුණින් පතුරවන කටකතා දෙවෙනි වර්ගයට අයත් වන්නේය. වත්මන් කොරෝනා වසංගතය හමුවේ, රජය විසින් යුද නීතිය පනවනු ඇති බවට ආරංචියක් ලෝකයේ සමහර රටවල මේ වන විට පැතිර යමින් පවතින අතර, එය අයත් වන්නේ දෙවෙනි වර්ගයටය. ලංකාවේද විවිධ නගර හා ගම්මාන වසා දමන බවට විටින් විට පැතිර යන කටකතා මෙම ගණයට වැටෙන්නේය. 

රොබට් ක්නැප්ගේ වර්ගීකරණයට අනුව, තුන්වැනි කටකතා වර්ගය වන්නේ, අප විසින් ඉක්මනින් උදාවේවායි ප්‍රාර්ථනා කරන යහපත් (සුන්දර) තත්ත්වයන් පිළිබඳව සතුටුදායක සුබවාදී කතාන්දර ගොතා ප්‍රචාරය කිරීමය. කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කොට ඇති හෙයින්, තව දින කිහිපයකින් අලූත් ආසාදිතයන් හමුවීම නතර වනු ඇති බවට ඇතමුන් පතුරුවන කටකතා මෙම වර්ගයට අයත් වන්නේය. ඉහත සඳහන් කළ, වැනිස් නුවර ඇළ මාර්ගවල ඩොල්ෆින් මාළුවන් පිහිනා යන බවට වූ ආරංචියද මේ ගණයට වැටෙන්නේය. මුල් කටකතා වර්ග දෙක හා සසඳන විට තුන්වැනි වර්ගයේ කටකතාවලින් ඇතිවන හානිය සාපේක්ෂ වශයෙන් අඩු අතර, ඒ හරහා ජනතාවට තාවකාලික සහනයක්ද ලැඛෙන්නේය. කෙසේ වුවද, මෙයද අසත්‍ය තොරතුරු ප්‍රචාරයක්ම වන්නේය.

රොබට් ක්නැප්

ඒ අනුව බලනා විට, යුධමය වාතාවරණයක් හෝ වසංගත රෝගී තත්ත්වයක් තුළ, විවිධ කටකතා වේගයෙන් පැතිරීම පුදුමයට කරුණක් නොවන්නේය. එනම්, වත්මන් කොරෝනා වසංගතය හමුවේද, විවිධ කටකතා පැතිරීමද පුදුමයට කරුණක් නොවන්නේය. එහෙත්, ප්‍රශ්නය වන්නේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලට මෙම කටකතා හරහා දැඩි අයහපත් බලපෑමක් ඇතිවීමය. විශේෂයෙන්, සමාජ මාධ්‍ය ජාලා හරහා කටකතා පැතිරීමේ වේගය වැඩි වන අතර, ඒවා පාලනය කිරීමද දුෂ්කර කාර්යයක් වන්නේය. විවිධ සමාජ මාධ්‍ය ජාලා තුළ කටකතා පතුරවන කණ්ඩායම් නැතහොත් “කටකතා පොකුරු” බිහිවීමද තර්ජනයක් වී ඇත්තේය. කොරෝනා වසංගතය පිළිබඳ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහි සටනේදී, ගූගල්, ට්විටර්, ෆේස්බුක් යන සමාගම් සමඟ අත්වැල් බැඳගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත්තේ මෙම පසුබිම තුළය.

අසත්‍ය පුවත් අවදානම් සහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය

ඒ අනුව බලනා විට, වත්මන් කොරෝනා වසංගතය හමුවේ, හරිහැටි තහවුරු කර නොගත් තොරතුරු, ආරංචි පැතිරවීමෙන් වැළකී සිටීම ජනතාවගේ යුතුකම වන්නේය. අනෙක් අතට, කොරෝනා මර්ධන වැඩපිළිවෙලට හානියක් නොවන පරිද්දෙන් වසංගතය පිළිබඳ සැබෑ තොරතුරු ජනතාව ඉදිරියේ තැබීම රජයේ යුතුකම හා වගකීම වන්නේය. එමතුද නොව, විවිධ දේශපාලන හෝ පෞද්ගලික න්‍යායය පත්‍රවලට යට නොවී, ජනතාව වෙත සැබෑ තොරතුරු ගෙනහැර දැක්වීම මාධ්‍යවලද වගකීම වන්නේය. කොරෝනාවට එරෙහි සටනින් ජයගත හැකි වන්නේ මේ සියලූ පාර්ශ්වයන්ගේ සැබෑ කැපවීමක් ඇත්නම් පමණය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *