කොරෝනා සටන, ඔස්ට්‍රේලියාවේ ප්‍රගතියක් – අවසන් පැය 24, ප්‍රාන්ත 04ක රෝගීන් 0

අවසන් පැය 24 තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 04කින් සහ තවත් ප්‍රදේශ කිහිපයකින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවීම නිසා එරට කොරෝනා ප්‍රස්ථාරයේ රේඛාව සමතල වනු ඇතැයි ඩේලිමේල් වාර්තා කරයි. ඒ අනුව දැඩි සීමාකිරීම් ලිහිල් කිරීමටද නුදුරේදී පියවර ගනු ඇත. මාරාන්තික වෛරසය ආසාදනය වී ඇතැයි ඉරිදා දවසේ තහවුරු වූ සිද්ධීන් 08ක් පමණක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තා කළේය. වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත යන පළාත් දෙකෙන්ම ඉරිදා දිනයේ වාර්තා වූ නව සිදුවීම් ගණන 07කි.

කොවිඩ් – 19 වැළඳී ඇතැයි තස්මේනියාවෙන් වාර්තා වූ පුද්ගලයන් ගණන 04කි. එම ප්‍රාන්තයේ මේ සියලු දත්ත වාර්තා වන්නේ වයඹ දිග ප්‍රාදේශීය රෝහලෙනි. ඒ අතර 90 හැවිරිදි රෝගියෙක් මරණයට පත් වීම සමග ප්‍රාන්තයේ සමස්ත මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගියේය.
මේ වනවිට බටහිර ඔස්ට්‍රේලියාව, එරට අගනුවර ආශ්රිත කලාපය, දකුණු දිග ඔස්ට්‍රෙිලියාව සහ උතුරු කලාපයෙන්ද නව රෝගීන් වාර්තා වී නැත.
අද වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 6714ක් වන අතර 83 දෙනෙකු මරණයට පත් ව ඇත. සුවය ලද ගණන 5539කි. රෝගීන් වාර්තා වීමේ උපරිමයක් ලෙස 5000ක අගයක් සටහන් වූ අප්‍රේල් 04 වෙනිදා සිට මේ දක්වා එනම් (26) ඉරිදා වන තෙක් එරටින් වාර්තා වූ රෝගීන් ගණන 1175ක් වීමෙන් නිවාරණ කටයුතුවල ප්‍රගතිය පෙන්වයි.

නමුත් දිගින් දිගටම ඔස්ට්‍රේලියානු බලධාරින් මහජනයාට අනතුරු අඟවන්නේ, සමාජ දුරස්ථකරණය ඇතුළු පියවර අනුගමනය නොකරන්නේ නම් කොඩිඩ් 19 දෙවන රැල්ලක් ඇතිවිය හැකි බැවින් දී ඇති උපදෙස් පිළිපදින ලෙසයි.

ලසන්ත ද සිල්වා