කොරෝනා සටනට එන අවිගන් (Avigan) පෙත්ත ගැන ඇත්ත.

කොවිඩ් 19 ව්‍යසනය ලෝකයටම තර්ජනයක්ව තිබියදී ඊට එරෙහි ඔසුවක් සහ වැළඳෙන්නට පෙර ප්‍රතිශක්තිය ලබාදීම සඳහා එන්නතක් නිපදවන්නට ලොව බොහෝ දියුණු රටවල් මහන්සි ගන්නවා. ඒ අතර වාර්තා වුණේ ජපානය නිපදවා ඇති අවිගන්/ඇවිජන් (Avigan) නමැති ඔසුව වෛරසයට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීම සඳහා සාර්ථකව යොදාගත  හැකි බවයි. හෙට අනිද්දා වනවිට ලංකාවටද මේ පෙත්ත ගෙන්වන බව සහ පරිත්‍යාගයක් ලෙස පෙති තොගයක් ලැබෙන බවද වාර්තා වුණා. ඇත්තටම මේ බෙහෙත ජපානය අලුතින්ම නිපදවන ලද්දක්ද?

බෙහෙත හදන්නෙ ඉස්සර දළ සේයාපට හදපු කොම්පැනිය. කාලෙකට ඉස්සර ඔවුන් ටොයෝමා රසායන කොම්පැනිය එක්ක ඒකාබද්ධ වුණා

මේ පෙත්ත වැඩිදියුණු කළ ෆුජී ෆිල්ම් ටොයෝමා රසායන සමාගම ඒ ගැන ඇත්ත කියලා තියෙනවා. ඒ ඔවුන්ගෙ නිල වෙබ් අඩවියේ. අවිගන් බෙහෙත නිෂ්පාදනයට සහ විකිනීමට ජපානය අනුමැතිය දුන්නේ 2014දී. ඒ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට භාවිතා කරන ප්‍රතිවෛරස ඖෂධයක් විදියට. මේ ඔසුව භාවිතා කිරීම සඳහා සළකා බැලිය යුතු වුණේ, ඉන්ෆ්ලුවෙන්සාව වැළඳී, වෙනත් ප්‍රතිවෛරස ඔසුවලින් සුවපත් නොවන විට සහ රෝගය නැවත ඉස්මතු වන අවස්ථාවලදී පමණයි. මෙවර කොවිඩ් 19 වෛරසයට එරෙහිවද මේ ඔසුව ප්‍රතිප්‍රහාරයක් ලෙස භාවිතා කිරීමට ජපාන රජය තීරණය කළා. නමුත් ජපාන රජය සතුව මේ ඖෂධයේ නිෂ්පාදිත තොග පෙති ලෙසින් ප්‍රමාණවත් තරම් තිබුණද, වෙළඳපළට බෙදාහැර නොමැතිවාක් මෙන්ම  ජපානයේ හෝ විදෙස් රටවල රෝහල්වල හෝ ඔසුසැල්වලත් නැහැ.

අවිගන් පෙත්තේ සක්‍රිය ඖෂධීය අමුද්‍රව්‍ය වන Favipiravir, සතුව වෛරසය සිරුර තුළ පැතිරීම, ගුණනය වීම වැළැක්වීමේ යාන්ත්‍රණයක් තිබෙනවා. තනි දාම RNA මධ්‍යයකින් යුක්ත වෛරස කාණ්ඩයට අයත්වන හෙයින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට සමාන යැයි විස්තර කෙරුණු නව කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිවෛරස ක්‍රියාත්මක වීමේ විභවයක් මේ ඔසුව සතුයි. කෙසේවෙතත් මේ අවස්ථාවේ අවිගන් පෙත්ත නව කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක හා ආරක්ෂිත ඔසුවක් ලෙස භාවිතා කළ හැකිද යන්න පිළිබඳ පැහැදිලි සාක්ෂි පෙළගස්වමින් සහ අධ්‍යනය කරමින් සායනික අත්හදාබැලීම් කෙරෙමින් තිබෙනවා. තවමත් ජපානයේ හෝ ලෝකයේ වෙනත් කිසිම රටක අවිගන් පෙත්ත වෙළඳපොළ අලෙවිය සඳහා අවසර ලැබී නැහැ. සෙසු රටවල්වල බලධාරීන් හෝ ආණ්ඩු මේ බෙහෙත භාවිතා කිරීමට තීන්දු කළත්, ෆුජී ෆිල්ම් සමූහය වෙනත් රටවලට සද්භාවයෙන් එම ඔසුව සැපයීමට ක්‍රියා කරන්නේ, ජපාන රජයේ උපදෙස් හා සම්බන්ධීකරණය ඇතිව පමණි.  

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *