කොරෝනා මැද්දෙ මැතිවරණ තියනවාට විරුද්ධයි – ලාල්කාන්ත කලු වතින් නාමයෝජනා දෙන්න එයි.

 කොරෝනා මැද්දෙ මැතිවරණ තියනවාට විරුද්ධයි – ලාල්කාන්ත කලු වතින් නාමයෝජනා දෙන්න එයි.

රටේ පවතින අවධානම් තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමට කිසිසේත් සුදුසු වාතාවරණයක් නොමැති නිසා මහ මැතිවරණය කල් දැමිය යුතුය යන ස්ථාවරයේ ජතික ජන බලවේගය සිටින බව එහි මහනුවර දිස්ත්‍රික් නායක ලාල් කාන්ත මහතා පැවසුවේය.

මහ මැතිවරණයට අදාළව මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ නාම යෝජනා පත්‍රය මහනුවර තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතාට ඊයේ (17) බාර දීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.

 නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසු පූර්ව මැතිවරණ සමයක් ක්‍රියාත්මක වන්නේ ඒ ඒ දේශපාලන පක්ෂ වලට තමන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනයාම සඳහා බවත් පවතින තත්ත්වය තුළ එවැනි දෙයක් කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති බවත් හෙතෙම පැවසුවේය.

නාම යෝජනා බාර දීමේ කාලය නිම වීමෙන් පසු පැවැත් වීමට සූදානම් කර තිබූ පිළිගැනීමේ උත්සව පවා අත්හිටුවා තිබෙන බවත් පුද්ගලයින් නිවසකට හෝ රැස් කරගෙන ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වාතාවරණයක් රටේ ඇතිව තිබෙන බවත් ඒ මහතා කීය.

මැතිවරණය නීතියට අනුව නියමිත කාල සීමාව තුළ නාම යෝජනා පත්‍ර බාරදිය යුතුව තිබෙන බැවින් ඊට ගෞරව කර නාම යෝජනා ලබා දුන්නත් බලධාරීන් මෙය අත්හිටුවීමට පියවර නොගැනීම සම්බන්ධව තමන් තුළ විරෝධයක් පවතින බවත් ලාල් කාන්ත මහතා පැවසුවේය.

තමන් කළු පැහැති කමිසයක් ඇඳ නාම යෝජනා බාර දීමට පැමිණියේ මෙයට විරෝධය දැක්වීම පිණිස බවද හෙතෙම කීවේය.

නාම යෝජනා පත්‍ර බාර ගත්තද අවධානම් තත්ත්වය පහව යනතුරු මැතිවරණය කල් දැමීමට ජනපති ප්‍රමුඛ සෙසු බලධාරීන් කටයුතු කළ යුතුව තිබෙන බවත් පවතින වාතාවරණය තුළ ඡන්දය පවත්වන්නට ගියහොත් ජනතාව ඡන්දය ලබා දීම සඳහා ඡන්ද පොළට පැමිණේද යන්න සැක සහිත බවත් ඒ මහතා කීය.

මහ මැතිවරණ දිනයට පෙර මෙම අවාසනාවන්ත තත්ත්වය නිමාවට පත්වේවායි ප්‍රාර්ථනය කළ හැකි නමුත් ප්‍රාර්ථනා වලින් පමණක් සියල්ල ඉටු නොවන බව බලධාරීන් තේරම් ගත යුතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

ජාතික ආරක්ෂාව තහවුරු කරන බව කියමින් බලයට පැමිණි ආණ්ඩුව මහජන ආරක්ෂාව නොසලකා කටයුතු කරන්නේ නම් එය බරපතල තත්ත්වයක් බවද හෙතෙම කීය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *