කොරෝනා පාලනයට තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම් කිහිපයක්

 කොරෝනා පාලනයට තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම් කිහිපයක්

ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් ගණන 11 දක්වා (සුවය ලැබූ චීන කතද ඇතුළුව) වැඩි වී ඇති බැවින් වහාම රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර මහ මැතිවරණය කල් දමන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

තත්ත්වය තවදුරටත් වර්ධනය වී රට පුරා ව්‍යාප්ත වීමෙන් පසු හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පලක් නොවන බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා මේ අවස්ථාවේ එම ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

කොරෝනා (COVID-2019) ආසාධිතයන් වැඩි වශයෙන් ව්‍යාප්ත වූ රටවල් මුල් අවස්ථාවේ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම නිසා එම තත්ත්වයට පත්වී ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාව ද එම තත්ත්වයට පත් වීමට පෙර වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර මහ මැතිවරණය කල් දැමිය යුතු බවත් එම සංගමය කියයි.

මෙය මැතිවරණ සමයක් නිසා වැඩි දෙනෙක් ඒ වෙත අවධානය යොමු කරමින් කටයුතු කරන නිසා රෝගය කෙරෙහි අවධානය අඩු බව ද, මැතිවරණ සමයේ විවිධ ආකාරවලින් ජනතාව එක්රොක්වන වැඩසටහන් පැවැත්වෙන බව ද, එසේ හෙයෙින් මැතිවරණය කල් දැමීම මේ අවස්ථාවේ සුදුසුම ක්‍රියාමාර්ගය බව ද එම සංගමය පවසයි.

තෝරාගත් රටවල් කිහිපයකින් පැමිණෙන පුද්ගලයන් පමණක් දැනට නිරෝධායනයට යොමු කරන බැවින් සියලුම රටවල්වල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධානයට යොමු කළ යුතු බැව් සඳහන් කරන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කොරෝනා පාලනය කිරීම සඳහා නිරෝධායනයකින් තොරව පසුගිය සති තුන ඇතුළත ලංකාවට ඇතුළු වූ සියලු දෙනා සහ ඔවුන්ගේ සමීපතමයන් පරීක්ෂා කර බැලිය යුතු බව ද ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන සහ කොරෝනා යැයි සැක කරන පිරිසට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන මීට වඩා වැඩි අවධානයක් රජය යොමු කළ යුතු බවත්, රෝගය ව්‍යාප්ත වුවහොත් ඊට මුහුණ දීම සඳහා රෝහල්වල පහසුකම් වර්ධනය කළ යුතු බවත් එම සංගමය පවසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවද අවශ්‍ය සහයෝගය දිය යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.

විදේශයන්හි සිට නිරෝධායනයකින් තොරව පසුගිය සති කිහිපයේ ලංකාවට පැමිණි උදවිය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී නිරෝධායන මධ්‍යස්ථානවලට ගොස් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත්, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන් තැන්වලට නොගොස් රෝග පාලනයට උපරිම සහයෝගය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *