කොරෝනා ප්‍රතිකාර සඳහා කාත්තන්කුඩි රෝහල භාවිතයේ වරදක් නැහැ – නැගෙනහිර ආණ්ඩුකාරවරිය

කාත්තන්කුඩි රෝහල කොරෝනා වෛරසය වැළදුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යොදා ගැනීමට එරෙහිව සිදු කරන විරෝධතා පදනම් විරහිත බව නැගෙනහිර පළත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටියාය. ආණ්ඩුකාරවරිය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ.
“COVID – 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය අවම කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය යුද හමුදාව ඉතා අනර්ඝ ලෙස පවත්වාගෙන යන අතර ඔවුන් එම කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ද ලක්වූ බව නොරහසකි.
ඒ අතරම මඩකලපුව රෝහල ද මෙම වෛරසයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය විසින් සූදානම් කළේය.
ඒ අවස්ථාවේ ඇතිවූ අනවබෝධය හේතුවෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි.
මෙම වෛරසයට ගොදුරු වූ පළමු රෝගියා මඩකළපුවෙන් වාර්තා වූ පසු මඩකලපුව රෝහල COVID – 19 ප්‍රතිකාර සදහා යොදා ගැනීමේ අගය ප්‍රදේශවාසීන්ට වැටහිණි. පසුව එම රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ I.D.H. රෝහල කරා යොමු කෙරිණි
තත්ත්වය එසේ තිබුනද මඩකලපුව රෝහලේ වෙනත් රෝගීන් සඳහා සිදුකරන සායන අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන තිබු අතර කිසිදු අවස්ථාවක එම සායන නතර නොවිනි.
මේ අතර අප කාත්තන්කුඩි රෝහල ද COVID – 19 හෙවත් කොරෝනා වෛරසයට ගොදුරු වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු බවට හඳුනාගෙන තිබුණි.
ඒ අනුව සඳුදා දිනය වනවිට කාත්තන්කුඩි රෝහලට එම වෛරසය වැළඳුන රෝගීන් 24 දෙනකු ඇතුළත් කළහ.
කාත්තන්කුඩි රෝහලට ද මෙම වෛරසය වැළඳුණු රෝගීන් රැගෙන ඒම පිළිබඳව දැඩි විරෝධයක් එල්ල වීමට පටන් ගෙන තිබේ ඒ අවස්ථාවේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා මගින් කාත්තන්කුඩි ජනතාව තුළින් මතු වූ මෙම විරෝධයට හේතුවු කරුණු වල සත්‍ය අසත්‍යතාවය ගැන මවිසින් කරුණු සොයා බැලීය.
එහිදී මා හට දැන ගැනීමට ලැබුණේ මඩකලපුව රෝහල හැරුණු විට දැඩි සත්කාර සහ හදිසි ප්‍රතිකාර ඒකකය වඩා දියුණුව ඇත්තේ කාත්තන්කුඩි රෝහලේ බවය
මෙම COVID – 19 වෛරසය වැලඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කත්තන්කුඩි රෝහලේ අවශ්‍ය සියලු පහසුකම් COVID – 19 කාර්ය සාධක බලකාය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධික්ෂණය යටතේ ලබාදීමට කටයුතු කර ඇති බවද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මා වෙත දැන්වීය.
ඒ අනුව මෙම විරෝධතාවන් වල ප්‍රතිඵල ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්, දහන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා විශේෂ මුදල් වෙන් කිරීමක්, ගර්භණී කාන්තාවන් සඳහා අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාරයන් ලබා ගැනීම සඳහා අතිරේක ගිලන් රථයක්, වකුගඩු ඒකකය හුදෙකලා කිරීම, මනෝ චිකිත්සක ඒකකය හුදෙකලා කිරීම, කාර්ය මණ්ඩලය සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, ඔවුන් සදහා වෙනම ආහාර වේලක් පිටතින් රැගෙන ඒම ඇතුළු විශාල පියවරයන් රැසක් ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි. ලෝකය පුරා පැතිර යන්නේ පාලනය කරගත නොහැකි අයුරින් බව මනාව පිළිබිඹු වන්නකි.
එබැවින් රජයක් ලෙස මෙම වසංගතය නිසා ඇතිවන පීඩාවන් අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මනා සුපරීක්ෂාකාරීව සහ මනා අවබෝධයෙන් යුතුව ජනතාවට අබ මල් රේණුවක තරම් වත් අපහසුතාවයට පත් නොවන අයුරින් ගැනීමට රජය හැකි සෑම උත්සාහයක්ම යොදමින් තිබේ.එය ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර ඇති අතර අපි මෙම වෛරසයට ගොදුරු වීම පාලනය කිරීම අතින් ලෝකයේ බොහෝ රටවල් අතරින් අප රට ඇගයීමකට පත්ව ඇති බවද මා අමුතුවෙන් කිව යුතු නැත.
එම නිසා අපේම ජනතාව වෙනුවෙන් ඔවුන්ව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කාත්තන්කුඩි රෝහල භාවිතා කිරීම අනවශ්‍ය ලෙස හුවා දැක්විය යුතු කරුණක් නොවේ.