කොරෝනා ආශිර්වාදයක් කර ගත් සමූහ ගොවිපොළ
චාමින්ද බුලත්සිංහල
වී වගාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මේ දිනවල නිතර අසන්නට මෙන්ම දකින්නට ලැබෙන්නේ පොහොර හිඟය, වගාවන්ට ජලය නොමැතිවීම, වැනි විවිධ දුෂ්කරතා මෙන්ම නොසලකා හැරීම් පිළිබඳව ගොවීන්ගේ මුවෙන් නැගෙන මැසිවිලි හා දුක් අඳෝනාවන්ය. ඒ සියල්ල පරයා තමන් සතු හිස් ඉඩම් මුඩු වීමට අත් නොහැර ස්වෝත්සාහයෙන් යළ මහ දෙකන්නයේම වී වගා කරමින් සතුටින් කල් ගෙවන ගොවීන් පිරිසක් මහියංගණය, 52, බෙලිගල්ල ග්‍රාමනිලධාරි වසමේ අන්දරගස්යාය ගම්මානයේදී අපට හමු විය.

මෙම ගම්මානයේ වෙසෙන පවුල් 17ක ගොවීන් පිරිසකට අයත් ඉඩම් වසර ගණනාවක් තිස්සේ කිසිදු වගා කටයුත්තකට නොගෙන වල්වැදී වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත්ව තිබූ බව ඔවුහු පවසති. මෙම ඉඩම්වල පහළ මායිමෙන් උල්හිටියා ඔය ගලා බසියි. ඉඩම් වලට ඉහළින් මහවැලි වියාණි ඇළ ගලයි. මේ සීමා අතර පිහිටි අක්කර පනහක පමණ ඉඩම් කොටසක් කිසිදු වගාවකට නොගෙනම වසර ගණනාවක් තිස්සේ වල් වැදී තිබිණි. මේ අතරතුරේ අන්දරගස්යාය කොටසේ පදිංචි සුනිල් ශාන්ත සහ එච්.එම්.ගුණතිලක යන ගොවීන් දෙදෙනා මුඩු ඉඩම් වගා කිරීමේ අදහසක් පිළිබඳ කතිකා කර ගත්හ. ඒ සැළසුමේ වූයේ උල්හිටියා ඔයෙන් ජලය පොම්ප කොට වගා කටයුතු ආරම්භ කිරීමයි. අදින් වසර තුනකට පෙරාතුව ඔවුන් දෙදෙනා තම සැළසුමද සමග ගොවිජන සේවා නිලධාරීන් මෙන්ම කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු වග කිව යුත්තන්ට අදහස ඉදිරිපත් කළද එය නිශ්ප්‍රභ විය.

එහෙත් උත්සාහය අත්නොහළ ඔවුන් දෙදෙනා වී කෙටීම සඳහා යොදාගනු ලබන වී මෝල් එන්ජිමක් යොදා ගෙන උල්හිටියා ඔයෙන් ජලය පොම්ප කර වගාව ආරම්භ කොට ඇත. මොවුන් දෙදෙනාගේ උත්සාහය දුටු ගොවිජන සේවා නිළධාරීන් මෙන් කෘෂිකර්ම නිළධාරීන්ගේ සහාය පසුව ඔවුන්ට ලැබී ඇත. වීමෝල් එන්ජිම වෙනුවට ඔවුන්ට ඩීසල් වලින් ක්‍රියාත්මක කරන අඟල් 4ක ජල ධාරිතාවක් පොම්ප කළ හැකි මෝටරයක්ද ඉන් අනතුරුව ලබා දී ඇත.
යළ මහ දෙකන්නයේම වී වගාවෙහි නිරතවන මෙම වගා බිම් සංකල්පයේ නිර්මාතෘවරයෙකු වන එච්.එම්.ගුණතිළක මහතා, “අපේ ඉඩම්වලට වතුර ගන්න විදියක් තිබුනේ නැහැ. අපේ ඉඩම්වල මායිමෙන් උල්හිටියා ඔය ගලනවා, උල්හිටිය ජලාශය පටන් ගන්නෙත් මෙතැනින්, පාරෙන් එහා පැත්තෙන් වියාණි ඇළ ගලනවා. ඒකෙනුත් අපට වතුර ගන්න බැහැ. හැමදාම බලධාරීන් ලඟට ගිහින් අපේ ඉඩම් වගා කරන්න වතුර දෙන්න කියලා ඉල්ලුවා. වතුර මෝටරයක් දාන්න කිව්වා. නැතිනම් උස්සාන වාරි මාර්ග ක්‍රමය යටතේ දිය බමරයක් හදලා වතුර දෙන්න කිව්වා. ඒත් බලධාරීන් අපිව මායිම් කළේ නැහැ. අපි අපේ උත්සාහය අත් හැරියේ නැහැ. සුනිල් ශාන්ත අයියයි මමයි එකතු වෙලා පරීක්ෂණයක් විදියට වී මෝල් එන්ජිමක් ඔය අයිනේ හයි කරලා වතුර පොම්ප කළා. වැඩේ සාර්ථක වුනු නිසා අපි වගාව පටන් ගත්තා. අපේ උත්සාහය දැකලා බලධාරීන් අපට සහාය දුන්නා. ඩීසල් වතුර මෝටරයක් දුන්නා. අපි යාය පුරාම බට එළලා වතුර යන්න හදා ගත්තා. අපිව ගොවීන් හැටියට පිළි ගත්තා. දැන් අපට පුංචි ගොවි සංවිධානයක් තියෙනවා” යැයි පැවසීය. දැන් ඔවුන් එකමුතු නමින් කුඩා ගොවි සංවිධානයක් පිහිටුවාගෙන අක්කර 35ක භූමිභාගයක ගොවීන් 17දෙනෙකු වගා කටයුතුවල නිරත වෙති.
“අපේ රටේ ගොඩාක් අය ඇඟේ පතේ හයිය හත්තිය තියාගෙන කිසිම වැඩක් නොකර නැතිබැරිකම් කියා ගෙන අරක නෑ, මේක නෑ, අරක දෙන්න, මේක දෙන්න කියලා ඉල්ලනවා. නුදුන්නොත් ආණ්ඩුවටයි නිලධාරින්ටයි බණිනවා. අපිත් අපේ ඉඩම්වලට වතුර ඉල්ලුවා. ඒත් හරි ගියේ නැහැ. හැබැයි දෙයක් කරන්න ඕනම නම් හොඳ සැලසුමක් හා හොඳ කණ්ඩායමක් හිටියොතින් ඕනෑම වැඩක් සාර්ථක කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් අපේ බැඳීම් වැඩි වෙලා. අපි කිසිම දෙයක් නිකං ඉල්ලුවේ නෑ, එක අතකින් මේ කොරෝනා තත්ත්වය අපට ලොකු පාඩමක් ඉගැන්නුවා. මේ දවස්වල අපට කිසිම අඩුවක් දැනුනේ නෑ. අපට කෑම තිබුණා. අපේ කන්න දෙකම වගා වෙනවා. අහක බලපු නිලධාරීන් අපි දිහා බැලුවා. අපට උදව් කළා. අපි වගාවන් හොඳට කරගෙන යනවා. පොඩි ගැටළුවකට තියෙන්නේ වන අලි ප්‍රශ්නය. මාදුරු ඔය උද්‍යානයෙන් පණින අලි ඇවිත් අපේ වගාවන්ට හානි කරනවා. අලි වැටවත් හරියට නඩත්තු වෙනවා නම් හරි. ඒත් ඒක හරිහැටියට වෙන්නේ නැහැනේ. අපේ ගෙවල් ළඟම වගාවන් තිබුණාට පොඩ්ඩක් හරි ඇහැ පියවුණොත් අපේ මහන්සිය වතුරේ. විසඳුම් නැහැ. හැම තැනම තියෙන්නේ පැලැස්තර තීන්දු. වල් අලියාගේ නම වන අලියා කියලා කිව්වාට අලින්ගෙන් වෙන හානිය නැතිවෙන්නේ නැහැනේ. අලියාගේ නම නෙවෙයි වෙනස් වෙන්න ඕනේ. මේවගේ තීරණ ගන්නා මිනිස්සුයි වෙනස් වෙන්න ඕනෙ.” යනුවෙන් සිරිපාල වීරසිංහ ගොවි මහතා පැවසීය.
අන්දරයාය ගොවි මහතෙකු වන ඩබ්.ඩී.පියසිංහ මහතා, “වී වගාවට අමතරව අපි එළවළු හා අතුරු භෝග වගා කළා. එකිනෙකාට බැණ බැණ ඉන්නවාට වඩා පුළුවන් විදියට අපි අපේ වගාවන් කරනවා. අපි අපේ වගාවට වතුර ගන්න ඩීසල් මෝටරේට ඩීසල් දාන්න ඕනෙ. එක කන්නයක් ඉවර වෙන කොට එක ගොවියෙක් ඩීසල් වෙනුවෙන් රුපියල් නව දාහක් වියදම් කරනවා. එතකොට ගොවීන් දහ හත් දෙනාට එක කන්නයකට රුපියල් එක් ලක්ෂ පනස්තුන් දාහක් වියදම් වෙනවා. වියදම ටිකක් සැරයි. නමුත් අපේ වගාව අපි රැක ගන්න එපැයි. අපිට බාධාවල් නැතිව නෙවෙයි”.

මේ ජනතාවට සවියක් වන බෙලිගල්ල ධර්මවිජය විහාරස්ථානයේ විහාරවාසී මහියංගණ ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය උල්හිටියේ නන්දරතන හිමි, “මොන අඩුපාඩු කම් තිබුණත් අන්දරයායේ දායකයින් අපට වෙලාවට පන්සලට දානෙ ටික දෙනවා. කොරෝනා නිසා අඩපණ වෙලා තිබුණු වෙලාවෙත් අපට සැළකුවා. තවත් ඉඩම් අක්කර 25ක් විතර ඇරිලා තියෙනවා. වගා කරන්න කැමැත්තෙන් තවත් පවුල් කිහිපයක් බලන් ඉන්නවා. දැනට තියෙන වතුර මෝටරයෙන් ඒ අයට වතුර දෙන්න විදියක් නැහැ. කවුරු හරි එකතුවෙලා මේ අයට අඟල් හයක වතුර පාරක් ගන්න පුළුවන් විදියේ වතුර මෝටරයක් හා තව නළ ටිකක් අරන් දුන්නොත් මුළු අන්දරයාය ගම්මානය අස්වද්දන්න පුළුවන්. නැති නම් උස්සාන වාරි ක්‍රමය යටතේ උල්හිටියා ඔයේ දිය බමරයක් සවි කරලා ඇළ මාර්ගයක් ඔස්සේ වතුර දෙන්න පුළුවන් නම් 51 හන්දිය දක්වාම වතුර දීලා මේ පැත්තම අස්වද්දන්න පුළුවන්. ඒවගේම මේ අලි වැට හරියට නඩත්තු කරලා දුන්නා නම් වගාවන් හොඳින් කරන්න පුළුවනි” යැයි පැවසූහ. කිසිවෙකුටත් බරක් නොවී ස්වෝත්සාහයෙන් රටට බත සැපයීමට වෙර දරන බෙලිගල්ල අන්දරයාය ගම්මානයේ ගොවි ජනතාවගේ සාධාරණ ඉල්ලීම කෙරෙහි බළධාරීන්ගේ හෝ කෘෂිකර්මාන්තයට ලැදි කව්රුන්ගේ හෝ අවධානය යොමු වී ඔවුනට අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් එය මහත්ඵල මහානිසංශ දෙන කටයුත්තකි.” යැයි උන්වහන්සේ පවසති.