කොරෝනා අවදානම මඩින්න නීතිය අකුරට, හැටන් පොලීසිය

 කොරෝනා අවදානම මඩින්න නීතිය අකුරට, හැටන් පොලීසිය

විදේශ ගතව සිට පැමිණි වතුකරයේ පුද්ගලයින් 76 දෙනෙකුට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් නිරෝධායනයට ලක්වන ලෙස නියෝගයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මොවුන්ට නිවෙස් වල සිට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස කළ දැනුම් දීම ඔවුන් පැහැර හැරීම නිසා මෙම අධිකරණ නියෝගය ලබාගත් බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසුවා.
1952 අංක 12 දරන නිරෝධායන සහ රෝග වැලැක්විමේ ආඥා පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නියෝගය නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ බවත් එය සළකා බැලූ දිසා විනිසුරුවරයා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙළිය, නල්ලතන්නිය, නෝටන්බ්‍රිජ්, වටවල, ගිනිගත්හේන, දිඹුල යන පොලිස් ස්ථානාධිපතිවරුන් හරහා අදාළ පුද්ගලයන්ට අධිකරණ නියෝගය නිකුත් කළ බවත් ඒ මහතා පැවසුවා.
නිරෝධායනයට ලක්වන පුද්ගලයින් දින 14 ක් නිවසින් පිටතට නොපැමිණිය යුතු බවත් පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් මේ පිළිබදව සොයා බැලිය යුතු බවත් දිසා විනිසුරුවරයා අධිකරණ නියෝගය මගින් දැනුම් දී තිබෙනවා.අධිකරණ නියෝගය මගින් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් 76 දෙනාගෙන් 49 දෙනෙකු කාන්තාවන් බවද පේමසිරි මහතා පැවසුවා.

ඒ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත් දෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (21) දින අලුයම අත්අඩංගුවටගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා. හැටන් පොලිස් බල ප්‍රදේශය යටතේ පාලනය වන හැටන් ෂැනන් තේ වත්තේ වතු නිවාස පේළියක පිටුපස ඉතා සුක්ෂම ලෙස විශාල වලක් හාරා එතුළ වු මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් සිටි සැකකරුවන් හත් දෙනෙකුයි මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ. දිවයින පුරා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වෙමින් පැවති නිසා පොලීසිය නොපැමිණෙන බව සිතා ඔවුන් මෙලෙස මැණක් ගැරීමේ නිරතව සිට තිබෙනවා.

අත්අඩංගුවට පත් මැණික් ගරන්නන් පිරිස

හොංකොං ජාතිකයින් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටි බව කියන හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට මුද්‍රා තැබීමටද හැටන් පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පෙරේදා (22) පියවර ගත්තා. මෙයට දින කිහිපයකට ප්‍රථම මෙම හොංකොං ජාතිකයින් දෙදනො අදාල සංචාරක නිකේතනයට පැමිණ ඇති අතර හිමිකරු විසින් පසුගිය 21 දින ඔහුගේ මෝටර් රථයෙන් හොංකොං ජාතිකයින් දෙදෙනාව කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ගොස් තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වුණා.
විදේශීය ජාතිකයින් දෙදෙනෙකු තම සංචාරක නිකේතනය තුළ දින ගණනාවක් නවාතැන් ගෙන සිටි බව හිමිකරු පොලීසියට හෝ සෞඛ්‍ය අංශ වෙත දැනුම් නොදීම නිසා එම ස්ථානයට මුද්‍රා තැබීමට පියවර ගත්බව පොලීසිය පවසනවා. සංචාරක නිකේතනයේ හිමිකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එහි බිම් මහලේ පදිංචිව සිට ඇති බවත් හොංකොං ජාතිකයින්ට කොවීඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණේද යන සැකය මත එම පවුලේ සාමාජිකයින් සියලු දෙනා දින 14 ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන තිබෙනවා. විදේශිකයන් ප්‍රවාහනය කළ මෝටර් රථය ජීවානුහරණය කිරීමටද සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *