කොරෝනාවට වඩා භයානක ව්‍යාජ තොරතුරු වසංගතය!

මංගලනාත් ලියනආරච්චි    –   ත්‍රිකුණාමලය.

ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ඇඹේනියවු ඌරුවරිගේ හීංමැණිකා මහත්මිය කොරෝනා වෛරසය ආසාධනයවී මියගිය පුවත මෙරට සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් හෙලිකර සිටියේ, හීංමැණිකා මහත්මිය දුටු නොදුටු සියළු දෙනා කම්පනයට පත් කරවමිනි.එහෙත්,මේ සියළු මාධ්‍ය අභියෝගයට ලක් කරන අමුතුම ආකාරයක සටහනක් වයඹ පළාතේ ප්‍රකට මාධ්‍යවේදිනියක් සිය මුහුණු පොතේ  සටහනක් තබමින් කියා තිබුණේ, වන්නියලැත්තන්ගේ බිරිද වු හීන් මැණිකා  කෝවිඩ් ආසාදනය වී මිය ගිය පුවත  මාධ්‍ය මගින් වගකීමෙන් තොරව බෙදා හැරි සාවද්‍ය පුවතක් බවයි. එහිදී අදාල මාධ්‍යවේදිනිය ගෙන හැර දක්වන මූලාශ්‍රද බැහැර කල නොහැකි තරම්ය.  මෙවැනි ප්‍රවෘත්තියකදී විවිධ තොරතුරු සමග දෝලනය වන පාඨකයා  මුහුණ දෙන බරපතලම ගැටළුව වනුයේ,තමන් කවර තොරතුරක් පිලිබදව විශ්වාසය තබා කටයුතු කරන්නේද යන ව්‍යාකූලත්වයයි. 

බොහෝ විට  මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව නැවැරැදි ප්‍රවෘත්ති පල කලද,සමාජ මාධ්‍ය එම තොරතුරු විකෘති කර පල කිරීම මගින් මාධ්‍ය පිළිබද තිබෙන විශ්වාසනීත්වය වෙනත් මානයකට යොමු කරවීමට බලපා ඇති බව පෙනේ.කෙසේ වෙතත්,මේ වන විට වැඩි දෙනකු සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැණීමට පෙලඹී සිටීම සුලබ  කාරණයකි.ඉතා ඉක්මනින් හා ආයාසයකින් තොරව ප්‍රවෘත්ති ලබා ගැනීමට හැකිවීම ඊට හේතුවයි.

කෝවිඩ් – 19 වැනි වසංගත රෝග තත්වයන් හමුවේ ව්‍යාජ තොරතුරු පැතිර යෑම බරපතළ සමාජ ගැටලු රැසකට මග පාදා ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. .ඇතැම් පිලිගත්  මාධ්‍ය ආයතනද සමාජ මාධ්‍යන්ට නොදෙවෙනි අන්දමින් සාවද්‍ය හා පළ නොකළ යුතු ප්‍රවෘත්ති ප්‍රචාරය කළ අවස්ථා දක්නට ලැබිණි. මෙවැනි දේ නිසා මාධ්‍ය පිළිබද ජනතාවට තිබෙන විශ්වාසනිත්වය දිනෙන් දින පලුදු වන ආකාරය පැහැදිලිව පෙනේ.

මේ වන විට අප රටේ  කෝවිඩ් එන්නත සම්බන්දයෙන් සමාජ මාධ්‍ය තුල පැතිර යන දුස් තොරතුරු හේතුවෙන් විශාල පිරිසක් එන්නත ලබා ගැනීම මගහැර ඇති තත්වයක් දැකිය හැක.විශේෂයෙන් එන්නත ලබා ගැණීමෙන් වැලකී සිටින පිරිස අතර,තරුණ පිරිස ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගෙන සිටි.ඔවුන් වැඩි වශයෙන් දුස් තොරතුරු පරිශීලනයට යොමු වී ඇත්තේ,සමාජ මාධ්‍ය මගින් බව අමුතුවෙන් කිව යුතු නැත.මෙම එන්නත මගින් වද භාවය හා ලිංගික බෙලිහීනතාවය ඇතිවීම , ලිංගික ආකර්ෂණය හා එන්නත් ගන්නා අයගේ ආයු කාලය අඩුවීම යන කාරණා මීට හේතුවයි.විශේෂයෙන් ග්‍රාමීය හෝ ගම්බද  කියා වෙනසකින් තොරව තරුණ පරපුර මෙම දුස් තොරතුරු පිලිගැණීමට පෙලඹී සිටින බව සෞඛ්‍ය අංශ තොරතුරු හෙලි කර සිටි.

මේ වන විට කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පමණක් තරුණ තරුණියන් අනූහත් දහසක් අතරින් කෝවිඩ් එන්නත ලබා ගෙන ඇත්තේ,විසිපන්දහස් අටසීයක් පමණ බව කොළඹ වෛද්‍ය කොට්ඨාශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටි.මේ අන්දමින් තරුණ පරපුර දුස් තොරතුරු මත පදනම්ව කෝවිඩ් එන්නතෙන් වැලකී සිටීම අප රටේ කෝවිඩ් මර්ධනයට බලවත් තර්ජනයක් බවත්,මෙම තොරතුරු වැඩිමනක් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ඒවා බවත්  වෛද්‍යවරුන්ගේ මතයයි.

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය සේ පිලි ගැනෙන ෆේස්බුක් මාධ්‍ය ජාලය ක්‍රියාශීලි පරිශීලකයන් බිලියන 2.7 ක් නියෝජනය කරයි.ඊට අමතරව ෆේස්බුක් සමාජ මාධ්‍යට අනුභද්ධ වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය පරිශීලනය කරන ප්‍රමාණය මිලියන සිය ගණනකි.මේ සියල්ලටම එල්ලවී ඇති බරපතල චෝදනා අතර වැරදි තොරතුරු පැතිර යාම වැලැක්වීමට කටයුතු නොකිරීම ප්‍රමුඛතම කාරණය බවට පත්ව ඇත.මේ සම්බන්දයෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදුකල ෆේස්බුක් ආයතනයේ නිෂ්පාදන කළමනාකරිණියකවු ෆ්‍රන්සෙස් හෝගන් පසුගිය ඔක්තොම්බර් 05 දින සෙනෙට් මංත්‍රී මංඩලය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ,ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම්ස් ආරක්ෂිතව හැසිරීමට ආයතන නායකත්වයට හැකියාව ඇතත්,ආදායම ගැන සිතා ඔවුන් ඉන් වැලකී සිටින බවයි.

එසේම කෝවිඩ් වැනි භයානක වසංගත තත්වයක් හමුවේ,කෝවිඩ් මර්ධනය සදහා යොදා නොගන්නා ඖෂද සම්බන්දයෙන් යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දුස් තොරතුරු වීඩියෝ පට සම්බන්දයෙන් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය යූටියුබ් ආයතනයට අනතුරු අගවා ඇති අතර,එම සමාගම මේ වන විටත් එවැනි  වීඩියෝ පට එක් ලක්ෂ තිස් දහසක් පමණ ඉවත් කර ඇති බව වාර්තා වේ.

(උපුටා ගැණීම – අරුණ 2021.10.10 )

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ ජනතාව නොමග යන අන්දමේ වගකීමෙන් තොර සාවද්‍ය තොරතුරු සංසරණය වීම හේතුවෙන් සිදු වන බලපෑම අපට පෙනෙනවාට වඩා බොහෝ බරපතළ බව ආදිවාසි නායකයාගේ බිරිදගේ අභාවය සම්බන්දයෙන් පෙර සදහන් කල මාධ්‍යවේදිනිය සිය මුහුණු පොතේ තැබු සටහනෙන් වඩාත් ගම්‍ය වේ.

වන්නියලැත්තන් කියන අන්දමට සිය බිරිද වු හීන් මැණිකා මිය ගොස් ඇත්තේ,කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් නොව වකුගඩු රෝගය හේතුවෙන් බව එම සටහනේ සදහන්ය. ඒ බව පේරාදෙනිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ද තමාට දන්වා සිටි බවද  වන්නියලැත්තන් මෙහිදී කියා සිටි.එහෙත්,ඒ කුමන විශේෂඥ වෛද්‍යවරයාද යන්න වන්නියලැත්තන් විසින් සදහන් කර නොමැතිවා සේම අදාල මාධ්‍ය වේදිනියද ඒ පිලිපද අවධානයක් යොමු කර නොමැති බවක් පෙනේ.

නායක ඇත්තෝ..තොප්පන්ගේ නෑනිට කොරෝනා විෂ පොජ්ජවත්,නියුමොනියා ලෙඩ පොජ්ජවත් මංගච්චන්න කොදොයි.ඒ ඇත්තෝ මියඹට දැම්මේ,වකුගඩු පොජ්ජට විෂ පොජ්ජක් මන්දෝ වෙලයි..හීංමැණිකාගේ අභාවයෙන් පසු පැතිර ගිය මාධ්‍ය හෙලිදරව් සම්බන්දයෙන් පේරාදෙනිය රෝහලේ විශේෂඥ වෛද්‍ය මහතා කල ප්‍රකාශය  වන්නියලැත්තන්තන්ගේ භාෂාවෙන් අදාල මාධ්‍යවේදිනිය සදහන් කර ඇත්තේ එසේය.

මේ මාධ්‍ය හූරලා නෑනිලා කරුකුරු ගච්චලා තිබන එකමින් මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජම විනාශ පොජ්ජක් මන්දො වුණා..මාධ්‍ය හි  අනිසි හැසිරීම සම්බන්දයෙන් ආදිවාසි නායක වන්නියලැත්තන් සිය අප්‍රශාදය මුදා හැර ඇත්තේ,ඒ අන්දමනි.

එපමනක් නොව,ආදිවාසි නායකයාගේ දරුවන් නව දෙනාගෙන් පස්දෙනෙකුටම කෝවිඩ් ආසාදනයවී මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවද මාධ්‍ය මගින් පලවීම පිළිබදවද  ආදිවාසි නායක වන්නියලැත්තන් සිය නොකැමැත්ත පල කරමින් කියා ඇත්තේ,ප්‍රවෘත්තියක් පල කරන්න ඉක්මන් නොවී,හොදට හොයා බලා ලියන ලෙසයි.

තමාට දරුවන් හත් දෙනකු මිස,නව දෙනකු නොවන  බවත්,තමාගේ දරුවන් කිසිවෙකුටත් කොරෝනා රෝගය ආසාදනය වී නොසිටි බවත් වන්නියලැත්තන් සහතික කර කියා සිටි.එවැනි සාවද්‍ය  පුවත් ප්‍රචාරයවීම තුලින් තම  පරම්පරාවේ අභිමානයට සිදුවු හානිය සුළුපටු නොවන බව වන්නියලැත්තන්ගේ අදහසයි.වන්නියලැත්තන් දේශීය වෙද මහතෙකු ලෙස සිය වෙද පියසේ විෂ 18 නසන ඖෂධයක් ඔහු විසින්ම නිපදවන බව කියවේ.එවැන්නෙකුගේ බිරිද කෝවිඩ් වැලදී මියයාම හා දරුවන් පස් දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වු බව කියන ප්‍රවෘත්තියක් පලවීම වන්නියලැත්තන්ට අපහාසයක් මෙන්ම හාස්‍යද දනවන්නකි.

කෙසේ නමුත්,වන්නියලැත්තන්ගේ බිරිද මිය ගියේ,කෝවිඩ් ආසාදනයවීමෙන්ද නැතහොත් වෙනත් රෝගී තත්වයකින්ද යන්න පිළිබදව අප පේරාදෙනිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතාගෙන් විමසීමක් කලෙමු.එහිදී අර්ජුන තිලකරත්න මහතා කියා සිටියේ,වන්නියලැත්තන්ගේ බිරිද වන හීන් මැණිකා මහියංගනය රෝහලේ සිට පේරාදෙනිය රෝහලට ගෙන එන විටත්,කෝවිඩ් ආසාධිතයෙකුව සිටි බවයි.මේ සම්බන්දයෙන් තව දුරටත් අදහස් දැක්වු අර්ජුන තිලකරත්න මහතා මෙසේද කියා සිටියේය.

හින් මැණිකා මහත්මිය දැඩි ලෙස වකුගඩු රෝගයෙන් පීඩා වින්දා.ඒ වගේම නිව්මෝනියාව හා දියවැඩියා රෝගයත් ඇයට වැලදී තිබුණා.ඇය මිය ගියේ,කුමන රෝග තත්වයෙන් වුවත්,ඇය කෝවිඩ් ආසාධිතයෙක් බව පැහැදිලිවම ප්‍රකාශ කල හැකියි..“ 

වන්නියලැත්තන්ගේ දරුවන් පස් දෙනෙකුට කෝවිඩ් වැලදුනු බව කියන ප්‍රවෘත්තිය සම්බන්දයෙන් අප මහියංගනය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන්  කල විමසීමේදී අදාල වසම භාර මහජන සෞඛ්‍ය නිළධාරිවරයා කියා සිටියේ,එය සාවද්‍ය ප්‍රවෘත්තියක් නොවන බවයි.ඔහු කියන අන්දමට දරුවන් පස් දෙනකු නොව දරුවන් හය දෙනෙකුම කෝවිඩ් ආසාධිතයන් බවට පත්ව තිබේ.

මේ අනුව බලන විට ගම්‍ය වන වැදගත්ම කාරණය නම්, ඇතැම් මාධ්‍ය වගකීමෙන් යුතුව නිවැරැදි ප්‍රවෘත්ති පල කලද,සමාජ මාධ්‍ය එම තොරතුරු විකෘති කර පල කිරීම මාධ්‍ය පිළිබද තිබෙන විශ්වාසනීත්වය වෙනත් මානයකට යොමු කරවන බවයි.මේ වන විට වැඩි දෙනකු පෙලඹී සිටිනුයේ,සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීම බව රහසක් නොවේ.

ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා කෝවිඩ් 19 ආසාධිතයෙකු බවට එක්තරා වෙබ් අඩවියක් විසින් පළ කළ ප්‍රවෘත්තියක් මුහුණු පොතෙහි සංසරණයවීම හේතුවෙන් ඇති වූ අවුල්සහගත තත්ත්වය මෙය තෙරුම් ගැනීම සඳහා කදිම සිද්ධි අධ්‍යයනයකි.

රෝහල ගැන වැරදි පුවතක්

පසුගිය වසරේ නොවැම්බර් 10 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාධිත වී ඇති බව හෙළි වන්නේ, රෝහල් කාර්ය මණ්ඩලයේ තෝරා ගත් පිරිසක් පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඊට පෙර ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු කෝවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන තිබුණු අතර, එම වෛද්‍යවරයාගේ සමීපතමයන් නිරෝධානයට ලක් කරමින් සිටියදී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ මගින් අදාළ වෛද්‍යවරයාටද වෛරසය ආසාදනය වී ඇති බව හෙළිදරව් විය. කෙසේ වෙතත්, මෙම වෛද්‍යවරයා එම රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු මිස ප්‍රශව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා (VOG) නොවීය. 

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය කිහිපයක්ම කිසිදු මූලාශ්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රශව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාට කෝවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව පළ කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහ රෝහලේ කටයුතු අවුල් ජාලාවක් බවට පත්විය. මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න මහතා මෙසේ කියා සිටියේය.

ත්‍රීකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා

“ඇත්තටම මේ ප්‍රවෘත්තිය පළවීම නිසා අපට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එම වාට්ටුවේ ප්‍රතිකාර ගත් හා ප්‍රතිකාර ගනිමින් සිටි බොහෝ මව්වරු මෙම වැරදි ප්‍රවෘත්තිය ආරංචි වෙලා භීතියට පත්ව සිටියා. මේ ප්‍රවෘත්තිය පළ කරන්න කලින් මගෙන් හෝ අදාළ වෙනත් බලධාරීන්ගෙන් කිසිදු විමසීමක් හෝ කර තිබුණේ නැහැ. මාධ්‍ය මේ වගේ අවස්ථාවක ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නැහැ. මොකද ජනතාව තොරතුරු දැන ගන්නේ මාධ්‍ය මගින්. බොහෝ දෙනකු හිතනවා සමාජ මාධ්‍යට තමන්ට හිතෙන ඕන දෙයක් දැමිය හැකියි කියලා. හැබැයි, ඒක එහෙම නොවිය යුතුයි. ස්වයං පාලනයක් ඇති කර ගත යුතුයි. මේ ප්‍රවෘත්තිය මුහුණු පොතේ සංසරණය වී තිබුණේ මේ රටේ ප්‍රසිද්ධම  මාධ්‍ය ජාලයකට අයත් වෙබ් අඩවියකින්. සමාජ මාධ්‍යවල තොරතුරු ඉතාම ඉක්මනින් ජනතාව අතරට යන නිසා මෙවැනි තොරතුරු එසේ සංසරණයවීම ඉතාමත් භයානකයි. මෙවැනි තත්වයක් තුළ රජය සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සියලුම මාධ්‍ය ක්ෂේත්‍ර සම්බන්දයෙන් අවධානයෙන් සිටිය යුතු බව තමයි මගේ හැගීම..“ 

මෙම සාවද්‍ය තොරතුර මුහුණු පොත හරහා පමණක් නොව, එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් ඔවුන්ගේ ගුවන් විදුලිය හරහා ද  ප්‍රචාරය කිරීම හේතුවෙන් රෝගීන් මහත්සේ කලබලයට පත්ව තිබුණි. ඇතැම් රෝගීන් වෛද්‍ය අනුමැතියකින් තොරව රෝහලෙන් නික්ම ගොස් ඇති අතර, රෝහලේ කාර්ය මංඩලයේ අය පවා මෙම ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිට තිබේ.

නිවැරදි නොකිරීමේ ප්‍රතිඵල

මෙම තත්ත්වය සම්බන්දයෙන් තොරතුරු දැන ගැනීමට ඇතැම් අය ත්‍රිකුණාමලය මහ රෝහලට දුරකතන ඇමතුම් ගත්තද, එම සැකය දුරු කිරීමට සාධණීය පියවර ගැනීමට රෝහල් බලධාරීන්ද උත්සහ නොගැනීම කනගාටුවට කරුණකි. රෝහල් බලධාරීන් ත්‍රිකුණාමලය මහ රෝහලේ පවතින තත්වය හා අදාළ ප්‍රවෘත්තියේ වරද සම්බන්දයෙන් මාධ්‍යට කරුණු දැක්වීමක් සිදු කළේ නම්, මෙම තත්ත්වය මෙතරම් සංකීර්ණ නොවීමට ඉඩ තිබුණි. නමුත් ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න මහතා කියා සිටියේ, මෙම අවස්ථාව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට සුදුසු අවස්ථාවක් නොවන බවයි.

“ත්‍රිකුණාමලය මහ රෝහල කියන්නේ, මේ දිස්ත්‍රික්කයේ තිබෙන විශාලතම රෝහල. අපට මේ තියෙන වැඩ ටික කර ගන්නත් වෙලාව මදි. දිනපතා අනතුරුවලින්, කොරෝනාවලට වඩා වැඩි පිරිසක් මැරෙනවා. වකුගඩු රෝගීන් විශාල පිරිසකට සායන කරනවා. ඇයි මේ කොරෝනා විතරක් අල්ල ගෙන කෑ ගහන්නේ? මේ වන විට ත්‍රිකුණාමලය මහ රෝහලේ අලුතින් ඉදිවන හදිසි අනතුරු ඒකකයේ වැඩ නතර වෙලා. ඒ ගොඩනැගිල්ල දිනෙන් දින විනාශ වෙමින් යනවා. කෝවීඩ් හැදුණු වෛද්‍යවරයා පස්සේ පන්නන මේ මාධ්‍යවේදීන් කිසිම කෙනෙක් අපෙන් ඒ ගැන අහන්නේ නැහැ. මේක මාධ්‍ය සංදර්ශන පවත්වන අවස්ථාවක් නෙවෙයි. මේ වගේ අවස්ථාවක මාධ්‍යයේ වගකීම මේකද කියලා අපිට ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා…“

ත්‍රිකුණාමලය මහරෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය සංදර්ශන වලට වැඩි කැමැත්තක් නොදැක්වීම තුළ ජනතාව පත් වූ අපහසුතාව සුළු කොට තැකිය නොහැක. මෙම තත්වය හේතුවෙන් බොහෝ රෝගීන් පදනම් විරහිතව රෝහලෙන් ප්‍රතිකාර ගැනීම නවතා තිබේ.

‘සායනවලට ගියේ නැහැ‘

සදුන් හේමන්ත මහතා

“මගේ නෝනා ගැබිනියක්. එයා සායනවලට ගියේ, ත්‍රිකුණාමලය මහ රෝහලේ වී.ඕ.ජී ඩොක්ටර් ගාවට. ඒ වීඕජී සර් ගෝමරන්කඩවල පවත්වන ක්ලිනික්වලට තමයි මේ පැත්තේ ඔක්කොම අම්මලා ගියේ.  ත්‍රිකුණාමලය මහ රෝහලේ වීඕජී ඩොක්ටර්ට කොරෝනා කිව්වහම ඇත්තටම අපි ගොඩක් බය වුණා. මගේ නෝනා මේක ආරංචි වෙලා ගොඩක් කලබල වුණා. තොරතුරු දැන ගන්න පුළුවන් හැමෝටම කෝල් ගත්තත්, හරි තොරතුරක් දැන ගන්න ලැබුණේ නැහැ. අඩුම තරමින් ත්‍රිකුණාමලය මහ රෝහලවත් අපිට හරි තොරතුරක් ලබා දුන්නේ නැහැ “ ගෝමරන්කඩවල බක්මීගම සඳුන් හේමන්ත මහතා පවසයි.

ත්‍රිකුණාමලය මහ රෝහල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන අතර, ත්‍රීකුණාමලයෙන් ඈත දුර බැහැර ප්‍රදේශ වන පදවි ශ්‍රීපුර, සේරුවිල, ගෝමරන්කඩවල, පුල්මුඩේ, මහදිවුල්වැව වැනි ප්‍රෙදේශවල සිට විශාල පිරිසක් ප්‍රතිකාර හා සායන සදහා දිනපතා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත පැමිණේ. එහෙත්, සමාජ ජාලා අනිසි වාර්තාකරණයත් සමග බිය වන ජනයා සිය සායන හා ප්‍රතිකාර මග හැරීම හේතුවෙන් රෝගීන් බරපතළ ගැටලු රාශියකට මුහුණ දී තිබේ. මේ සම්බන්දයෙන් අදහස් දැක්වු ගෝමරන්නඩවල කුරුඳුගම පදිංචි චන්දන පියසේන මහතා කියා සිටින්නේ, මාධ්‍ය මගින් ප්‍රචාරය වූ මෙම පුවත හේතුවෙන් තම බිරිදගේ සායන කටයුතුවලින් බැහැර වීමට සිදු වූ බවයි.

“අපි ඇත්තටම මාධ්‍ය මගින් තමයි තොරතුරු දැන ගන්නේ. ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකුටයි වැඩ කරන අයෙකුටයි කොරෝනා කියලා ගිය ප්‍රවෘත්තියත් සමග අපි රෝහලට එන්න බය වුණා. අනික මගේ නෝනා පෙන්නන්න ඕනේ වී.ඕ.ජී දොස්තර මහත්තයට නිසා අපි තවත් කලබල වුණා. ඒ වගේම බයත් වුණා. මොකද ඊට කලින් සතියේ නෝනව ඒ දොස්තර මහත්තයාගේ සායනයකට ගියපු නිසා. ඒ නිසා අපි සායනයට ආවේ නැහැ.හැබැයි,පස්සේ තමා දැන ගන්න ලැබුණේ ඒක වැරදි ප්‍රවෘත්තියක් කියලා. නියමිත විධිහට සායන වලට නොගිය නිසා බිරිදගේ රෝගි තත්වය එන්න එන්න වැඩි වෙනවා. මාධ්‍ය මීට වඩා සොයා බලලා මේ වගේ ප්‍රවෘත්ති පළ කළා නම් අපි වගේ අයට ඒක ලොකු සහනයක්. ඒ වගේම ඒක බොරුවක් නම්, නිවැරැදි කිරීමත් මාධ්‍යවල වගකීමක්..“

දුස් තොරතුරුවලින් බැට කෑ මාධ්‍යෙව්දියා

කොරෝනා වසංගත තත්වය හමුවේ මාධ්‍යවල අනිසි හැසීරීමෙන් බැට කෑ පිරිසට මාධ්‍යවේදීන්ද  ඇතුළත්වීම හා හාස්‍යජනකය.  ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු හා කැමරා ශිල්පියෙකු වන නිකී තොම්සන් මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් නිරෝධානයට යොමු කරවූයේ, ඔහුගේ සහෝදරයෙකු ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයකට යෑම හේතුවෙනි. එම කාය වර්ධන මධ්‍යස්ථානය සමග කටයුතු කළ සියලු පිරිස් නිරෝධනයට ලක් කිරීමට ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය කාර්යාලය කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්, ඊට දින දෙකකට පමණ පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාධ්‍යෙව්දීන් දෙදෙනෙකුට කොරෝනා වැලදී ඇති බවට මුහුණු පොතේ පළ වූ පුවතක් හේතුවෙන් අදාළ මාධ්‍යවේදියා පමණක් නොව අනෙකුත් මාධ්‍යවේදීන්ද දැඩි අපහසුතාවට ලක් විය. එසේම නිකී තොම්සන් මහතාගේ වෘත්තිමය ජීවිතයටද මේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව හෙතෙම කියා සිටී.

“මම මාධ්‍යවේදීයෙකු වගේම කැමරා ශිල්පියෙක්. මාධ්‍යවේදීන් දෙදෙනෙකුට කොරෝනා කියලා මුහුණු පොතේ ගියාට පස්සේ ගොඩක් අය අපිට දැන් මාධ්‍ය වැඩටවත් වෙනත් දේවල් වලටවත් කතා කරන්නේ නැහැ. මේ දවස්වල මංගල උත්සව නොතිබුණත්, උපන්දින සාද ඡායාරූපගත කරන්න අපිට ඇනවුම් එනවා. නමුත්, මේකෙන් පස්සේ ගොඩක් අය මට කොරෝනා කියලා කතා කරන්නේ නැහැ.. සමාජ මාධ්‍ය වගකීමක් නැ.තිව කටයුතු කිරීමට එරෙහිව යම් යම් නීති සම්පාදනය කලම යුතුමයි..“ 

ඇතැම් දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කෝවීඩ් වසංගත තත්වය තුල මූලාශ්‍ර වලින් තොරව ප්‍රවෘත්ති පළ කිරීම හා එම ප්‍රවෘත්තිය මුහුණු පොතට මුදා හැරීම නිසා සාමාන්‍ය ජනයා සමාජය තුළ අපහසුතාවයන් වලට ලක් වූ අවස්ථා එමටය.

වැරදි පුවතකින් පීඩා විඳි පුරවැසියෙක්

පසුගිය වසරේ නොවැම්බර් 17 වනදා වැලිකන්ද නිරෝධාන මධ්‍යස්ථානයකදී මිය ගිය කොළඹ 10 මාලිගාවත්ත ප්‍රෙදේශයේ පදිංචිකරුවෙකු වන බාබු මො‍හොමදු කුෂුමා හසන් මහතාගේ බිරිඳත් ඔහුගේ පවුලේ සාමාජිකයෙනුත් කොරෝනා ආසාදිතයන් බවට පුවතක් පුවත්පතක සහ ඊට අයත් වෙබ් අඩවියෙහි පළ විය. දඹුල්ල ප්‍රදේශයේ ප්‍රකට මාධ්‍යවේදියෙකු විශ්වාසදායක මූලාශ්‍ර නොමැතිව වාර්තා කළ එකී පුවත නිසා එම පවුලට විඳින්නට වූ අපහසුතාව සුළු කොට තැකිය නොහැක. මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ මිය ගිය අයගේ සහෝදරියක වන සින්න නසීරා හසන් මහත්මිය කියා සිටියේ, ජනමාධ්‍යවල මෙම හැසිරීම පිළිකුල්සහගත බවයි.

“මගේ අය්යා වැලිකන්දේ නිරෝධානය වෙමින් ඉද්දී නැති වෙන්නේ, නාන කාමරේ ලිස්සලා වැටිලා. ඊට පස්සේ පීසීආර් කළහම එයාට කොරෝනා තිබ්බා කියලා කියනවා. ඊට පස්සේ වැලිකන්දෙන් කෝල් කරලා කිව්වා අය්යව  දවපු අලු ටික අරන් යන්න ගෙදරින් කාට හරි එන්න කියලා. වැලිකන්දෙන් දීපු පණිවිඩේට අය්යගේ බෑනා කොළඹ ඉදන් බස් එකේ වැලිකන්දට යද්දී දඹුල්ලෙදි පොලිසියෙන් බස් එක නවත්තලා බෑනට කොරෝනා කියලා  අර ගෙන රෝහල් ගත කරලා. එයාට පීසීආර් කළහම කොරෝනා නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. නමුත්,වෙබ් එකක හා පත්තරේක ගියා ඒ අය්යලාගේ බිරිදටත්  කෝවිඩ් කියලා. හැබැයි, මේ වෙනකම් අය්යගේ බිරිදව පීසීආර් කරලවත් නැහැ. මේ නිසා ඒ අය අසරණ බොහොම අසරණ වුණා. අඩුම තරමින් අහල පහළ අයවත් එයාලා එක්ක ගනුදෙනුවක් ඒ කාලේ කලේ නැහැ.. සමහරවිට මාධ්‍යවේදීයාට වරදින්න පුළුවන්. මොකද එයාලත් මිනිස්සුනේ. ඒත්, ඒ පත්තරේ ඉහළ අය අහන්නැද්ද මැරුණු කෙනාගේ බිරිඳට කෝවිඩ් කියලා තහවුරු කළේ කව්ද, ඒ කියන කෙනාගේ නම මොකක්ද කියලා. හැම දෙයකටම කියන්නේ “සෞඛ්‍ය බලධාරීන් හෙළි කළා කියලා. ඒක කිසිම වගකීමක් නැති ප්‍රකාශයක් කියලා සාමාන්‍ය අපිට තේරෙනවා නම්, මාධ්‍යට නොතේරෙන්න විධිහක් නැහැනේ..“ 

වැරදි තොරතුරක් නිසා නිරෝධායනයට

පෑලියගොඩ තොග මාළු වෙළදසැල සමග ගනුදෙනු කළ ත්‍රිකුණාමලය තොග මාලු වෙළද සැලේ කිහිප දෙනෙකුම කෝවිඩ් ආසාධිත වී ඇති බව පීසීආර් පරීක්ෂණ මගින් හෙළි වී තිබුණි. කොඩ්බේ ධීවර වරායේ ව්‍යාපාරිකයෙකු වූ ඒ.එච්. සමන් ප්‍රියන්ත මහතා ඒ වන විට සති ගණනාවකින් පෑලියගොඩ මාළු වෙළද සැලට ගොස් නොතිබුණද, පෑලියගොඩ මාළු වෙළදසැල සමග ගනුදෙනු කළ ඒ.එච්. සමන් ප්‍රියන්ත හෙවත් නිල්වලා සමන් ඇතුළු ත්‍රිකුණාමලය තොග මාළු වෙලද සැලේ විශාල පිරිසක් පීසීආර් පරීක්ෂණයට මුහුණ නොදී සැඟව සිටින බවට මුහුණු පොතේ පළ වූ සටහනක් හේතුවෙන් සමන් ප්‍රියන්ත මහතාට සිදුවූයේ, පදනමකින් තොරව දින 5 ක් නිරෝධානය වීමටයි.

“ඇත්තටම ඒ වෙන කොට සති ගණනාවකින් අපේ ලොරි එකක්වත් පෑලියගොඩ ගිහින් තිබුණේ නැහැ. නමුත්, ෆේස්බුක් එකේ නිර්නාමික අයෙක් දාපු පෝස්ට් එකක් නිසා පොලිසිය අපේ ගෙදර අයව බලෙන්ම නිරෝධානයට දැම්මා. අඩුම තරමින් පී.එච්.අයි. මහත්තුරුවත් අපේ ගෙදරට ආවේ නැතිව තමා පොලිසිය අපේ ගෙදර දැන්වීම් අලෙව්වේ. ඒ වෙන කොට මගේ දුව උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් හිටියේ. එයාව වෙනම කාමරේකට දාලා තමා ඊට පස්සේ එයාට විභාගය ලියන්න වුණේ. ඒ නිසා එයා ගොඩක් මානසිකව වැටුණා. සමහර ළමයි එයා එද්දී මග ඇරලා යනවලු. ඒ දවස් ටිකේ අපේ එක වාහනයකටවත් දුවන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපිට ආර්ථිකවත් ඒක බලපෑවා. පස්සේ මම පීඑච්අයි එකට කථා කරලා මේ අසාධාරණය කිව්වහම ඒක පිළි අරන් දින 5 න් අපේ නිරෝධානය නැවැත්තුවා. නැත්නම්,අපිට දවස් 14 නිරෝධානය වෙන්න තමා වෙන්නේ..ඇත්තටම මේ මාධ්‍ය මගින් ෆේස්බුක් මගින් සිද්ධ වෙන හානි ගැන පැමිණිලි කරන විධිහ මීට වඩා ක්‍රමවත් හා පහසු විය යුතුයි..එහෙම දේවල් ගැන ජනතාව දැනුවත් නැහැ..“

මොනයම් හෝ හේතුවක් මත වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය වුවද,මාධ්‍ය ආචාර ධර්ම වලට අනුකූලව  නැවත එය නිවැරදි කිරීම මාධ්‍යහි යුතුකම හා වගකීම වුවද,වර්තමානයේ එවැනි තත්වයක් දැකිය හැක්කේ,මද වශයෙනි.ඇතැම් විට පාඨකයා හෝ  වින්දිතයා ඒ සම්බන්දයෙන් තවදුරටත් කටයුතු කිරීම අත්හැරීම අප රටේ සුලබ තත්වයකි

ජනමාධ්‍ය මගින් සිදුවන වැරදි සහගත පල කිරීම් සම්බන්දයෙන් පැමිණිලි කිරීමට ස්ථාපිත කර ඇති ආයතන අතර,ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය යටතේ ස්ථාපිත කර ඇති පුවත්පත් පැමිණිලි කොමිසම ප්‍රමුඛ තැනක් ගනී.එහෙත්,බොහෝ දෙනකු ඒ මගින් සේවය ලබා ගන්නා බවක් නොපෙනේ.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂමේ පැමිණිලි නිළධාරි කමල් ලියනආරච්චි මහතා මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ,සැලකිය යුතු පිරිසක් මාධ්‍ය මගින් සිදුවන අගතිමය තත්වයන්  සම්බන්දයෙන් ඉදිරි කටයුතු සිදු කරන බවයි.ඒ ඒ පුද්ගලයාගේ දැනුම් මට්ටම හා සමාජීය වටපිටාව මත මෙය තීරණය වන බව හෙතෙම කියා සිටි.කෙසේ වෙතත්,පුවත්පත් පැමිණිලි කොමිසමට කටයුතු කල හැක්කේ,පුවත්පත් තුල සිදු කෙරෙන අනිසි පල කිරීම් වලට එරෙහිව පමණක් බව පෙන්වා දෙන කමල් ලියනආරච්චි මහතා රූපවාහිනි හා වෙනත් විද්‍යුත් මාධ්‍යන් හි පල කෙරෙන අනිසි පල කිරීම් වලට එරෙහිව කටයුතු කිරීමේ එකගතාවය පුවත්පත් පැමිණිලි කොමිසමට නොමැතිකම අඩුපාඩුවක් බව ද අවධාරණය කරයි. 

කෝවිඩ් වැනි භයානක වසංගත රෝග තත්වයකට රට මුහුණ දී සිටින අවස්ථාවක මාධ්‍යක වගකීම හරි හැටි අවබෝධ කර නොගන්නා සුළු පිරිසකගේ ක්‍රියා කලාපය හා ආපදා තත්වයන් හමුවේ තොරතුරු වාර්තාකරණය සම්බන්ධයෙන් නුපුහුණු මාධ්‍යවේදීන් ඒ සදහා යොමු කිරීම උද්ගතව ඇති මෙම තත්වයට මූලිකම හේතුව බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසයි.

ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ජනමාධ්‍ය පුහුණුකරුවෙකු වන ආනන්ද ජයසේකර මහතා මේ සම්බන්දයෙන් අදහස් දක්විමින් කියා සිටියේ,මාධ්‍ය හැදුණුම්පතක් පෑනක් කැමරාවක් සතුවු පමණින් ජනමාධ්‍යවේදියෙකු විය නොහැකි බවත්,අදාල ක්ෂේත්‍රය සම්බන්දයෙන්ද දැනුමක් මාධ්‍යවේදියා සතු විය යුතු බව කියා සිටි.මේ සම්බන්දයෙන් තව දුරටත් අදහස් දැක්වු ආනන්ද ජයසේකර මහතා මෙසේද කියා සිටියේය.

“ඇත්තටම මෙවැනි තත්වයන් ඉතාමත් සංකීර්ණයි.මෙවැනි ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී විෂ්‍ය ක්ෂේත්‍රය සම්බන්දයෙන් පමණක් අවබෝධයක් තිබිලත් මදි.මාධ්‍ය ආචාර ධර්ම සම්බන්දයෙන්ද හොද අවබෝධයක් තිබිය යුතුයි.ඒත්,අද බොහෝ මාධ්‍ය ආයතන සිය මාධ්‍ය වේදීන්ගේ වෘත්තිමය තත්වයට වඩා හැකියාව හා ලැදියාවට ප්‍රමුඛත්වය ලබා දෙන බව රහසක් නෙවෙයි.මේ නිසා මේ වන විට ඉතාමත් වේගයෙන් මහජනතාව ජනමාධ්‍යෙයන් ඈත්වන බවක් දකින්නට තිබෙනවා.ඒ වගේම තමයි,ඇතැම් මාධ්‍යවේදීන් සිය වගකීම පිලිබද අවධානයක් යොමු නොකර කරන වාර්තාකරණය හේතුවෙන් සමස්ත මාධය කෙරෙහිම පවතින විශ්වාසනීත්වය බිද වැටෙමින් පවතිනවා…“ 

මෙහිදී ජනමාධ්‍යවේදීන් සහ මුහුණු පොත සම්බන්දයෙන්ද ආනන්ද ජයසේකර මහතා සිය අදහස් පල කිරීමට අමතක නොකලහ.

“බොහෝ විට මුහුණු පොතේ සංසරණය වන තොරතුරු සම්බන්දයෙන් වගකීමක් නැතත්,ජනමාධ්‍ය වේදියෙකු මුහුණු පොතේ තබන සටහන පුද්ගලික ලියවිල්ලක් නොවිය යුතුයි.මොකද ඔහු පිලිබද යම් විශ්වාසයක් සමාජයට තිබෙන වගේම,ඔහු මේ සමාජයට වග කියන්නෙක්..“

ශ්‍රී ලංකා කතෘ සංසදය විසින් සම්පාදිත ශ්‍රී ලංකා පුවත්පත් කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියේ 3 වන වගන්තිය වන “නිවැරැදි කිරීම් හා සමාව අයදීම“ සම්බන්දයෙන් ඇතැම් මාධ්‍ය වැඩි අවධානයක් යොමු නොකිරීම බරපතල තත්වයකි.වාර්තාවක් කරුණු අතින් වැරදියැයි කතෘට පෙනී යන අවස්ථාවකදී එය නිවැරැදි කිරීම හා සමාව අයදීම කතෘ සංසදයේ එකගතාවය වුවද,එවැනි අවස්ථාවන්  මාධ්‍ය ක්ෂේත්‍රය තුල ඉතා දුලබය.

දේශීය නීතිරිති උල්ලංඝනය කරන ෆේස්බුක් පරිශීලකයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට යම් රටක පොලිසිය ඉල්ලීමක් කරන්නේ නම්,ෆේස්බුක් ආයතනය ඒ සදහා සහය ලබා දෙන බව ෆේස්බුක් සමාගමේ ආසියා ෆැසිපික් කලාපයේ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානි ඇම්බර් හෝක්ස්  මහත්මිය අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පසුගිය කාලයේ  කියා තිබුණි.එවැනි අවස්ථාවකදී අදාල නීති තත්වයන් පිලිබද අධ්‍යනයක් සිදුකිරීමට අවශ්‍ය නෛතික රාමුවක් හා ඒ සදහා පුහුණුව ලත් කණ්ඩායමක් තම ආයතනය සතු බව පවසන ඇම්බර් හෝක්ස් මහත්මිය වැඩි දුරටත් කියා සිටින්නේ,ෆේස්බුක් හි පළවන තොරතුරු සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නම්,පොලිසිය අදාල ක්‍රියාවලිය හරහා ගමන් කල යුතු බවයි.

මාධ්‍ය හා සමාජ මාධ්‍යන්හි මෙවැනි මාධ්‍ය අවභාවිතාවන් සම්බන්දයෙන් ගත හැකි ක්‍රියා මාර්ග කවරේද? එය කොපමණ දුරට සාර්ථකද යන්න පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය නීතිය පිළිබද බාහිර කථිකාචාර්යවරයෙකු මෙන්ම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියනආරච්චි මහතාගෙන් විමසීමක් කළෙමු. 

ගතහැකි පියවර රැසක්

පෞද්ගලිකත්වයේ අයිතිය නීතියෙන් නොපිළිගෙන තිබීම ලංකාවේ නීතියේ තිබෙන ලොකු හිදසක් බව නීතිඥ ජගත් ලියනආරච්චි මහතාගේ අදහසයි. මේ නිසා යම් අයෙකුගේ කැමැත්තකින් තොරව සමාජ මාධ්‍යවල හා අනෙකුත් පිළිගත් මාධ්‍යවල  පළ කිරීම් සම්බන්දයෙන් නීතියේ පිහිට පැතීම  කල්ගත වන කාර්යයක් බව හෙතෙම කියා සිටි. එහෙත්, මෙවැනි අවස්ථාවලදී අගතියට පත් වූ පාර්ශ්වයන්ට ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් පවතින බව කියා සිටි. ඒ සම්බන්දයෙන් වැඩි දුරටත් අදහස් දැක්වු නිතිඥ ජගත් ලියනආරච්චි මහතා මෙසේ කියා සිටියේය.

“විශේෂයෙන්  කෝවීඩ් – 19 වැනි වසංගත තත්වයක් තුළ එබඳු ප්‍රවෘත්ති හා පළ කිරීම් හේතුවෙන් යම් පාර්ශ්වයක් අගතියට ලක්වන්නේ නම් සහ නිරෝදායන ක්‍රියාවලිය හෝ නිරෝධ්‍යාන නීති උල්ලංඝනය වන්නේ යැයි හැගෙන්නේ නම්, ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරෙනවා. එසේම යම් අයෙකු මේ තුළින් අගතියට පත්ව ඇති බව හැගී යන්නේ නම්, ඔහුට හෝ ඇයට ඊට එරෙහිව දිසා අධිකරණයක නඩු පැවරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙවැනි වැරදි ප්‍රවෘත්ති සම්බන්දයෙන් පුවත්පත් මණ්ඩලයටද පැමිණිලි  කළ හැකියි. ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය පුවත්පත් මණ්ඩලය සතුයි. ඒ වගේම පුවත්පත් පැමිණිලි කොමිසමටද පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා…“ යැයි කියා සිටියේය.

මේ වන විට වත්මන් සමාජය මුහුණ දී තිබෙන බරපතලම ගැටළුව වී ඇත්තේ,මුහුණු පොතේ හා සමාජ මාධ්‍ය තුල පල කෙරෙන අනිසි පල කිරීම් බව පෙනේ.සමාජ මාධ්‍ය තුල ඕනෑම දෙයක් පලකල හැකි බව ඇතමෙකුගේ අදහසයි.විශේෂයෙන් මුහුණු පොත පුද්ගලික මාධ්‍යක් සේ සලකා කටයුතු කිරීම සුලබන දැකිය හැක.කෙසේ නමුත්,මුහුණු පොත ප්‍රමුඛ සමාජ මාධය තුල සිදු කෙරෙන එවැනි අනිසි පල කිරීම් වලට එරෙහිව පැමිණිලි කිරීම සදහා “සර්ච්“ නමින් ස්ථාපිත කර ඇති බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.

එසේම නිරෝධාන ක්‍රියාවලියට භාදා සිදු කෙරෙන පල කිරීම් සම්බන්දයෙන් ෆේස්බුක් සමාගමට පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවත්,නිර්නාමිකව පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් පවා එහිදී හදුනා ගැණීමේ ක්‍රමෝපායන් අදාල සමාගම සතුව පවතින බව සදහන් කල යුතුය.    කෝවිඩ් තත්වයත් සමග ශ්‍රී ලංකාවේ තත්වයන් නිරීක්ෂණය කිරීම සදහා ෆේස්බුක් සමාගම විසින් සිය නියෝජිතයන් පවා මේ වන විට පත්කර ඇති බව බොහෝ දෙනකු නොදන්නා කාරණයකි.ෆේස්බුක් පැමිණිලි සිදු කිරීම සදහා කොළඹ  බී.එම්.අයි.සී.එච් ගොඩනැගිල්ලේ පොලිස් ඒකකයක් පවා මේ වන විට ක්‍රියාත්මක වුවද,ඒ පිලිබදව වැඩි දෙනකු වැඩි අවධානය දක්වන බවක් නොපෙනේ.

කෝවීඩ් – 19 ආසාධනය වීමෙන් මිය ගිය අය සම්බන්දයෙන් ප්‍රධාන රූපවාහිනි නාලිකා කිහිපයක් සම්බන්දයෙන් එතික්අයි (ETHICS EYE) නැමැති ආයතනය විසින් 2020 ඔක්තොම්බර් 24 සිට නොවැම්බර් 24 දක්වා සතියේ දිනයන් තුල රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් නිරීක්ෂණය කොට එක්රැස් කර ගත් දත්ත වලට අනුව වැඩිම ප්‍රමාණයක් මාධ්‍ය සදාචාරයන් කඩකර ඇත්තේ,පුද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතන බව හෙලිවී තිබේ.කෙසේ වෙතත්,රාජ්‍ය මාධ්‍ය ආයතන හා එක් පුද්ගලික මාධ්‍ය ආයතනයක් පමණක්  ප්‍රශස්ත ලෙස කටයුතු කර ඇති බවද හෙලිවී ඇත.

අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් පහලොස් දෙනකු යොදා ගනිමින් සිදුකල සමීක්ෂණයකින් හෙලි වූයේ,ජනමාධ්‍ය හි අනිසි හැසිරීම සම්බන්දයෙන් කිසිවෙකුත් වැඩි දුර කටයුතු කර නොමැති බවයි.

“මුල් පිටුවේ ලොකු අකුරින් වැරදි ප්‍රවෘත්තිය දාලා ඊට පස්සේ,කූඹි අකුරින් ඇතුලේ පිටුවේ කරන නිවැරැදි කිරීම වැඩක් නැති නිසයි එහෙම පැමිණිලි කරන්න වැඩි දෙනෙක් පෙලඹෙන්නෙ නැත්තේ..“ එසේ කියන්නේ,ත්‍රීකුණාමලය පුරවැසි කමිටුවේ ලේකම් ගාමිණි තිස්ස මහතායි.

කෝවිඩ් වැනි වසංගත තත්වයක් හමුවේ ජනමාධයේ හැසිරීම ඉතාමත් නරක බව 46.6% කියා සිටි.මාධ්‍ය මගින් පලවු වැරදි තොරතුරු පසුව නිවැරැදි වු බව 80% නොදන්නා බව මෙම සමීක්ෂණයේදී හෙලිදරව් වු තවත් කාරණයකි.

මෙම සමීක්ෂණයේදී හෙලිවු වැදගත්ම කාරණය නම්,මාධ්‍ය මගින් ලැබෙන තොරතුරු සම්බන්දයෙන් 60% වැඩි තැකීමක් නොකරන බවයි.ජනමාධ්‍ය අනිසි හැසිරීම් මේ වන විට සාමාන්‍යකරණය වී ඇති බවත්,මාධ්‍ය කෙරෙහි ඇති විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත්ව යන බවක් තහවුරු කිරීමට එය ප්‍රමාණවත්ය.

ජනමාධ්‍යවේදීන් සතු වගකීම

වසංගත රෝග තත්වයන් හමුවේ මාධ්‍ය වාර්තාකරණය මෙරටට අමුත්තක් නොවුණද, කෝවිඩ් -19 තත්වය විශේෂිත තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ හේතුවෙන් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද තොරතුරු ප්‍රකාශනයේදී  මාධ්‍ය සදාචාරය හා පුද්ගලිකත්වයේ අයිතිය සම්බන්දයෙන් සැලකිලිමත්වීමත්,තොරතුරු මගින් පාඨකයා ව්‍යාකූලත්වයට පත් නොවන සේ මාධ්‍ය වෘත්තියේ යෙදීම  සම්බන්දයෙන් ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම ඉතා වැදගත් බව ජනමාධ්‍ය පුහුණු කරුවෙකු වන ආනන්ද ජයසේකර මහතා තව දුරටත් අවධාරණය කර සිටි.

“ඇත්තටම මේ කෝවිඩ් තත්වය හමුවේ විතරක් නෙවෙයි, ඕනෑම තත්වයක් හමුවේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මාධ්‍යවේදියකු තුළ සමාජ වගකීම හා වෘත්තිමය තත්වයක් තිබිය යුතුයි. එහෙම නොවුණම, මාධ්‍යවේදියකු තුළින් සමාජය බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ නැහැ.විශේෂයෙන් තොරතුරු ව්‍යාකූලත්වයක් මාධ්‍ය මගින් ඇති නොකල යුතුයි. මේ කෝවිඩ් තත්වය රටට සුවිශේෂයි. මෑත ඉතිහාසයේ අපි කවදාවත් මෙබඳු වසංගත තත්වයක් අත්විදලා නැහැ. මේක කවදා කොහොම අවසන් වෙයිද කියන එකත් අපිට කියන්න බැහැ. ඒ නිසා ජනමාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයේදී තමන්ගේ සමාජ වගකීම හරිහැටි අවබෝධ කර ගනිමින් එම කාර්යයේ නිරත විය යුතුයි. සමාජ මාධ්‍ය සම්බන්දයෙන්ද එය එසේමයි. තමන්ගේ ප්‍රවෘත්තිය කොහොමද විකුණා ගන්නේ කියන එකට වඩා වෘත්තිමය භාවය සම්බන්ධයෙන් සැලකිලිමත්වීම වඩා වැදගත්. පෑනක් කැමරාවක් ගත්තු පලියට හැමෝටම මාධ්‍යවේදියෙකු වෙන්න බැහැ කියන කාරණය සරළයි. ඊට විවිධ තත්වයන් යටතේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව පුහුණුවීම් ලබා තිබීම ඉතා වැදගත්..“

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *