කොටි මසට මැරූ මිනිස්සු
මන්දක් ගසා අල්ලා ගන්නා ලද කොටියෙකු ඝාතනයකර උගේ මස් සහ ශරීර කොටස් අළෙවි කළ බව කියන අඹුසැමි යුවළක් සහ තවත් අයෙකු උඩුදුම්බර පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ත්රිරෝද රථයකින් කොටියාගේ හිස සමඟ සෙසු ශරීර කොටස් රැගෙන යමින් සිටියදී උඩුදුම්බර කලල්ගමුව ගොඩකුඹුර ප්රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. හුන්නස්ගිරිය හා ඒ අවට ලඳු කැලෑවල ජීවත්වන සතුන් මුදු අටවා ඝාතනයකර මස් පිණිස අළෙවි කිරීමේ ජාවාරමක් ක්රියාත්මක වන බවත් එසේ අටවන ලද මන්දකට මෙම කොටියා අසුවී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
කොටියාගේ මස් වලින් කොටසක් අළෙවි කර තිබෙන බවත් ඉතිරිව තිබූ මස් කිලෝ 17 ක් සමඟ කොටියාගේ හිස,සම සහ තවත් ශරීර කොටස් සොයාගත් බවත් උඩුදුම්බර පොලීසිය පවසයි. මෙම කොටියා ඝාතනය කර මස් අළෙවි කළ පුද්ගලයින් වේරපිටිය බුලත්වත්ත හා කලල්ගමුව ප්රදේශවල පදිංචිකරුවෝ වෙති. කොටියාගේ ශරීර කොටස් ප්රවාහනය කළ ත්රිරෝද රථයද අත්අඩංගුවට ගත්බව උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී කාංගර මහතා කීය.