කූරගල යළි පිබිදෙයි

කල්තොට-බුදුගල සෝමරතන හිමි

ඓතිහාසික බළන්ගොඩ කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරිමේ ජාතික ශාසනික මහා පුණ්‍ය මෞලි මංගල්‍යය අද (28) දින ප.ව.4.00ට සිදු කරන ලද  බව කූරගල රජමහ විහාර භාරකාර පුජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කළහ.

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කූරගල ග්‍රාම නිලධාරි වසම තුළ මෙම කූරගල ඓතිහාසික පුදබිම පිහිටා ඇත.ප්‍රාග් මානව ඉතිහාසයට පවා නෑකම් කියන මෙකී පුදබිම තුළ ක්‍රි.පු.2-1 සියවස් තුළ මහරහතන් වහන්සේලා වැඩ සිටිමින් බවුන් වැඩු ස්ථානයකි.කල්තොට වළවේ ගං මිටියාවතට ඉහළින් උසට පිහිටි මෙහි මුහුුදු මට්ටමේ සිට මිටර් 575කට ඉහළට නැගුණු දර්ශනීය ගල් පර්වතයකි.ඉන් එකක් දත්තගේ පර්වතය හෙවත් හිටුවන් ගලයි. අනෙක තපස් පිල හා ජනප්‍රවාදයේ එන බුදුගල රජමහ විහාරය දක්වා දිවෙන උමං මාර්ගය ආරම්භ වන දෑසට මනරම් දසුනක් ගේන “තණ්ඩුල්‍යෙයක පබ්බත” නම් සුන්දර ගල් පර්වතයයි. අක්කර 54ක් පමණ වන පුරාවිද්‍යා භූමිය තුළ මේ වන විට මහරහත් වහන්සේලා බවුන් වැඩු කටාරම් කෙටු ගල් ලෙන් 14කි.

1970 දශකයේදි රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර නාහිමියන් මෙහි බෞද්ධ උරුමය රැක ගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් වසර ගණනාවක් කටයුතු කර ඇත.අනතුරුව ගැටඅරළුවේ සංඝරක්ඛිත නාහිමියන් ද පසුව මෑත කාලයේ  රාජකීය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති නාහිමියන්ද මෙම ඓතිහාසික පුජා භූමියෙහි  බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා  තම කාලය ධනය ශ්‍රමය වැය කරන්නට යෙදුණි.

කාලනුරූපව මෙකී කූරගල බෞද්ධ උරුමය ක්‍රමයෙන් විනාශ විම ආරම්භ වීමෙන් පසු මෑත කාලය තුළ රටේ විවිධ ජාතික ආගමික ස්වේච්ඡා සංවිධාන රැසක් මෙන්ම යතිවරයාණන් වහන්සේලාද කූරගල අපේ ඉතිහාසය උරුමය සුරැකීමට හඬ අවදි කළ අවස්ථාද අපමණය. ඒ අතර වර්ෂ 2013දි වත්මන් ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් සිටි අවධියේදි මෙහි අනවසර ඉදිකිරිම් රාශියක් ආරක්ෂක අංශයේ ක්‍රියාකාරිත්වයෙන් ඉවත් කිරිමද සුවිශේෂ සන්ධිස්ථානයකි.අනතුරුව වර්ෂ 2019 වර්ෂයේදි හිටපු අමාත්‍ය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් පානිය ජල නල පද්ධතිය, පියගැට පෙළ හා විදුලිය ලබා දිමද සැළකිය යුතු වැදගත් අවස්ථාවකි.

2019 හා 2020 වර්ෂ වල දෙල්තොට ධම්මජෝති නාහිමියන්ද අති දුෂ්කර ලෙස කූරගල ගල් ලෙනක පළමු වරට වස් වැඩ සිටිමෙන් පසුවද බොහෝ දෙනාගේ අවධානය යළි කූරගලට යොමු විය. ඉක්බිති විශ්වකර්ම හාමුදුරුවෝ නමින් බොදු ජනයා අතර ජනාදරයට පත්ව ඇති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් වෙත මෙහි භාරකාරිත්ව පසුගිය පෙබරවාරි මස 04 වෙනිදා පැවරීමෙන් පසු කුරගල යළි ප්‍රතිනිර්මාණය කිරිමේ භාරධුර කාර්ය උන් වහන්සේ වෙත පැවරුණි.සම්බුදු සසුන වෙනුවන් තම තරුණ ජිවිතය කැප කොට ක්‍රියාශිලිව කටයුතු කරන නෙල්ලිගල හාමුදුරුවන්ගේ නායකත්වයෙන් මෙම කූරගල පුදබිමේ යළි බොදු සුවඳ විහිදෙන්නට ආරම්භ වි දැනට මාස දෙකක්වත් නැති තරම්ය. ඉදිරියේදි මෙහි අඩි සියයක් උස චෙත්‍ය රාජයාණන් වහන්සේ නමක්ද බුදුරුවක්ද සංඝාවාසයක්ද ඉදිවනු ඇත.

මේ වන විට මෙහි මාර්ග පද්ධතිය, විදුලි පද්ධතිය, ජල නළ පද්ධතිය සනීපාරක්ෂක පහසුකම් ආදි අත්‍යවශ්‍ය අංගද ඉදි කොට ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.