කින්නියාව මළ ගෙයක් වෙයි. ප්‍රදේශවාසීහු විරෝධයේ

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

කින්නියා, කුරුඤ්ඤංකේණි පාලම් පාරුව පෙරලී යාමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් ඇතුළු හය දෙනෙකු දියේ ගිලී මිය ගොස් 14 දෙනෙකු ප්‍රථිකාර සදහා කින්නියා මුලික රෝහලට ඇතුලත් කර ඇති බව කින්නියා පොලිසිය පවසයි. අද (23) පෙරවරුවේ පාසල් සිසුන් ඇතුළු මගීන් 20 කට අධික පිරිසක් ගමන් කරමින් තිබු මෙම පාරුව  සමබරතාවය නැතිව යාම නිසා පසෙකට ඇලව පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව කින්නියා පොලීසිය පවසයි.

මෙම අනතුර පිළිබදව සැළවීමත් සමග ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාවේ සෙවිමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා එක්ව මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.මියගිය පුද්ගලයන් අතර එකම පවුලේ මවක හා දියණියක සිටි.  

30 හැවිරිදි කාන්තාවක වන සේහු සබ්රියා හා ඇගේ දියණිය වන තුන් හැවිරිදි සේහු සශීරා ද 70 හැවිරිදි පිරිමි පුද්ගලයකු වන අබ්දුල් කාදර් යන අය ද මියගොස් සිටිති මිය ගිය පාසල් සිසුන් තිදෙනා කින්නියා කුරුඤ්ඤංකේණි හි පදිංචි හය හැවිරිදි පාතිමා සකිලා අට හැවිරිදි ෆරීඩ් පාසීම් හය හැවිරිදි පාතිමා සිරීන් යන අයයි.

දියේ ගිලීම නිසා අසාධ්‍ය වු දෙදෙනෙකු කිළිනොච්චිය මහ රෝහලට හා ත්‍රිකුණාමලය මහ රෝහලට වැඩිදුර ප්‍රථිකාර සඳහා යොමු කර තිබේ.  

කුරුඤ්‍ඤංකේණි පාලම දැඩි ලෙස අබලන්ව පවතින නිසා එය අලුත් වැඩියා කිරීම හේතුවෙන් මගීන් හට එහා මෙහා ගමන් කිරිම සඳහා ඔරු තුනක් මත ලෑලි යොදා සකසන ලද තාවකාලික පාලම් පාරුව සේවයට යොදවා තිබිණි.  

මෙම අනතුරින් කුපිතවු ප්‍රදේශවාසීහු 500 කට වැඩි පිරිසක් කින්නියා ප්‍රාදේශීය ලේකම් වරයාට විරෝධය පල කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුහ

විරෝධතාවට එක්වු පිරිස් මෙසේ පැවැසීය මේ පාලම හදන්න කියලා ඡන්දයක් ආවම හැම එකාම ඇවිත් මුල්ගල තියලා යනවා ඒ වගේ හැම ආණ්ඩුවක්ම ආවම මේ පාලම හදන්න කියලා එක එක මැති ඇමතියෝ ඇවිත් මුල්ගල තියලා යනවා අපි මේ පාලමේ අනතුර ගැන කිව්වා කවුරුවත් ගණන් ගත්තෙ නැහැ මේ වගේ අනතුරක් එනකම් කාටවත් ගාණක් නෑ මියගියේ කාගෙවත් දරුවො නෙවෙයි අපේ දරුවෝ මුන්ට ශාප වෙනවා යනුවෙනි. 

විරෝධතා කරුවන් කින්නියා කොළඹ මාර්ගය අවහිර කරමින් ටයර් ගිනි තබා තිබු අතර සිද්දිය පිළිබදව සොයා බැලීමට කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි දිසාපති වරයාද එහි පැය කිහිපයක් පුරාවට සිරවි සිටියේ විරෝධතාවය හේතුවෙනි. විරෝධතා කරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා එහි ජනේල වීදුරු කිහිපයකට හානි සිදුව ඇති බව දිසාපතිවරයා පැවැසීය මේ වනවිට කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සදහා විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ. 

මේ හේතුවෙන් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු වලට බාධා පැමිණි අතර පැය තුනකට වැඩි කාලයක් පුරාවට විරෝධතාවයෙහි නිරතවු පිරිස් පසුව විසිර ගියහ. සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.