කැන්ඩි සිටි සෙන්ටර් වෙතින් මහනුවර රෝහලට ලක්ෂ සියයක උපකරණ

කොවිඩ් වසංගතයෙන් රට මුදා ගැනීමට රජය,සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කෙතරම් වගකීමෙන් හා කැපවීමෙන් යුක්තව කටයුතු කළත් රටේ ජනතාව මේ සම්බන්ධයෙන් වගකීම් විරහිතව නිසි අවබෝධයකින් හා හැඟීමකින් තොරව කටයුතු කරන්නේ නම් වෛරසය රටින් තුරන් කළ නොහැකි බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.

අසල්වැසි ඉන්දියාවට අද අත්ව තිබෙන ඉරණම පාඩමකට ගෙන මෙරට ජනතාව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් වලට අනුගතව කටයුතු කිරීම මේ අවධානම් අවස්ථාවේ අත්‍යවශ්‍යය කරුණක් බවද උන්වහන්සේ කීහ.

මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මගින් මහනුවර ජාතික රෝහලට දැඩි සත්කාර ඒකක ඇඳන් 10 ක් ඇතුළු රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම නිමිත්තෙන් ඊයේ (20) එම ආයතන පරිශ්‍රයේ පැවැති උත්සවයකදී අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.කැන්ඩ් සිටි සෙන්ටර් කළමාණාකාර අධ්‍යක්ෂ තුසිත විජයසේන මහතාගේ සම්බන්ධීකරණය යටතේ මෙම භාණ්ඩ තොගය එම ආයතනයේ ව්‍යාපාර පවත්වාගෙන යන ආයතන විසින් පරිත්‍යාග කර තිබේ.

කොවිඩ් වෛරසයේ අවධානම හා ඉන් සිදුවන හානිය පිළිබඳව මේ රටේ ජනතාව නිසි ලෙස අවබෝධ කරගෙන කටයුතු කළහොත් ‍මෙම වෛරසය පහසුවෙන්ම රටින් තුරන් කළ හැකි බවත් අදවන විට රට පුරා මෙය ව්‍යාප්ත වී තිබෙන්නේ අපේම වරදින් බවත් විජිතසිරි නාහිමියෝ ප්‍රකාශ කළහ.

පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර වාර්තාව එනතුරු නිවසේ ඉන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබියදී ඇතැම් පුද්ගලයින් එය නොතකා ගමන් බිමින් ගිය අවස්ථා මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුණු බවත් මේ ආකාර වගකීම් විරහිතව කටයුතු කරන සුළු පිරිසක් නිසා රටක් අනතුරට පත්වන බවත් උන්වහන්සේ පැවසූහ.

මෙම වෛරසයෙන් රට මුදා ගැනීමට රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අප එම යාන්ත්‍රණයට අනුගතව කටයුතු කිරීම මගින් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි බවත් අනුනාහිමියෝ කීහ.

කොවිඩ් වෛරසයෙන් රට මුදා ගැනීම රජයට පමණක් තනිව කළ නොහැකි බවත් මෙහිදී සෑම පුරවැසියෙකුම ඉටුකළ යුතු මෙහෙවරක් තිබෙන බවත් කී උන්වහන්සේ ‍කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය තම සමාජ වගකීම් හඳුනාගෙන මේ ආකාරයෙන් කටයුතු කිරීම අගය කරන බවද අවධාරණය කළහ.

කැන්ඩි සිටි සෙන්ටර්  කළමනාකාර අධ්‍යක්ෂ තුසිත විජයසේන මහතා විසින් මෙයට පෙරද දැඩි සත්කාර ඒකක ඇඳන් පහක් මහනුවර රෝහල් වලට පරිත්‍යාග කරනු ලැබූ අතර අදාළ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ,මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය,මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ධම්මික ගුණවර්ධන,මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ,වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ,මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.