කාර්මික වැඩ පිටින් බෑ. අනුබද්ධ ඉන්ධනහල්. මෙන්න ලංගම නංවන අලුත් විධිය
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අනුබද්ධව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිතකර ආදායම් ඉපයීමේ පියවරක් ලෙස ඒවායින් ලංගමයට මෙන්ම පිටස්තර අයටද ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංගම සභාපති කිංග්ස්ලි රණවක මහතා පවසයි. ඩිපෝ ආශ්‍රිතව මෙම ඉන්ධන පිරවුම් හල් ස්ථාපිත කරන බවත් ඉන්ධන අලෙවියෙන් උපයන මුදල අදාල ඩිපෝවලටම ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය. යටිනුවර ඩිපෝවේ ස්ථාපිත කෙරුණු නව ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමෙන් අනතුරුව පෙරේදා (22)මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසුුවේය. මෙයට අමතරව යටිනුවර ලංගම ප්‍රාදේශීය වැඩපොළ මගින් අලුත්වැඩියා කරන ලද බස් රථ එන්ජින් කිහිපයක් සෙසු ඩිපෝවලට ලබාදීමද මෙහිදී සිදු කෙරුණි. මීළඟට ඔරුගොඩවත්ත හා කොග්ගල ඩිපෝ ආශ්‍රිතව නව ඉන්ධන පිරවුම්හල් දෙකක් විවෘත කරන බවද ඒ මහතා කීය.
ලංගමය සතුව ඉතා දක්ෂ කාර්මිකයින් සිටියදී බස් රථ එන්ජින් ඇතුළු උපකරණ අලුත්වැඩියා කිරීමේ කටයුතු පෞද්ගලික අංශයට ලබාදී සිදුකර තිබෙන බවත් මේ නිසා අති විශාල මුදලක් නිකරුණේ වෙනත් ආයතන වලට ලබාදී තිබෙන බවත් කී ඒ මහතා දැන් ඒ සියලු අලුත්වැඩියා කටයුතු ඩිපෝ ආශ්‍රිත ප්‍රාදේශීය වැඩපොළ මගින් පමණක් සිදුකරන බවද අවධාරණය කළේය.
ලංගම ප්‍රාදේශීය වැඩපොළ මගින් රුපියල් ලක්ෂ 03 ක පමණ මුදලක් වැයකර සිදුකළ හැකිව තිබූ අලුත්වැඩියා කටයුතු වලට රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් පෞද්ගලික ආයතනවලට ලබාදී තිබෙන බවත් නව වැඩපිළිවෙළ යටතේ බස් රථ එන්ජින් 58 ක් පසුගිය කාලය තුළ අලුත්වැඩියා කර ඩිපෝවලට බාරදී තිබෙන බවත් රණවක මහතා කීය.
වසර 20-30 ක පළපුරුද්ද ඇති ඉතා දක්ෂ කාර්මිකයින් ලංගම සතුව සිටින බවත් වෙනත් කිසිදු ආයතනක නොමැති නවීන උපකරණ ලංගමය සතු බවත් කී ඒ මහතා මෙම වැඩකටයුතු වල නිරත සේවකයින්ට දිරි දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන බවද අවධාරණය කළේය. පසුගිය ජනවාරී මාසය වනවිට වැටුප් ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදයමක් නොමැති ඩිපෝ 47 ක් තිබූ බවත් මේවන විට එය පහක් දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබෙන බවත් ඒ මහතා කීය. ලංගමයේ සේවකයින් 29000 ක් සිටින බවත් මොවුන්ගේ සේවා සුරක්ෂිතභාවය තහවුරු කළ යුතුව තිබෙන බවත් සභාපතිවරයා කම්කරුවන් ලෙස ඩිපෝ වලට එක්ව අදවන විට හොඳ කාර්මිකයින් බවට පත්ව සිටින අය නයිටා ආයතනයට යොමුකර වෘත්තීය නිපුණතා සහතිකයක් ලබාදී ඔවුන්ට පුහුණු කාර්මික තනතුරක් ලබාදෙන බවද අවධාරණය කළේය. කොවිඩ් අර්බුදයත් සමඟ ලංගමයේ වටිනාකම රටත් ජනතාවත් හොඳින් තේරුම්ගත් බවත් වසර 20 කින් කිසිදු අලුත්වැඩියාවක් නොකළ ඩිපෝ කාර්යාල තිබෙන බවත් හෙතෙම පැවසුවේය.