කාන්තා ශ්‍රමයට නිසි වටිනාකමක් දීම අසීරු අරගලයක කොටසක් – ආචාර්ය ප්‍රභා මනුරත්න

නිර්වින්දනය කරන ලද සමාජයක කාන්තා ශ්‍රමයට වටිනාකමක් ලබා දීම සහ කාන්තා අයිතිවාසිකම් ගරු කරන සමාජයක් ගොඩ නැගීම අසීරු කාර්යයක් බව ආචාර්ය ප්‍රභා මනුරත්න පැවසුවාය. එසේ නමුත් මේ මොහොතේ අප සැමට පැවරී ඇති කාර්යභාරය වන්නේ ඒ වෙනුවෙන් අරගල කිරීම බවද පැවසූ ඇය කාන්තා ශ්‍රමයට නිසි වටිනාකමක් දීම සඳහා වන සටන ජාත්‍යන්තර කාන්තා දිනයට සීමා නොවිය යුතු බව සඳහන් කළාය. ආචාර්ය ප්‍රභා මනුරත්න මේ අදහස් පළ කළේ මාර්තු 07 වැනිදා කටුනායකදී පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක් වෙමිනි.  නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමික කාන්තාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමරුව ඩා බිඳු සාමූහිකය විසින් සංවිධානය කරනු ලැබිණ.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ ස්ත්‍රීන්ට සම අයිතීන් ලබා දීම වෙනුවෙන් කැපවීම පාලකයින්ගේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නොමැති බවයි. තම දරුවාට පාසල් උපකරණ ලබාදීම සඳහා බෝනස් මුදල් ඉල්ලීමට කම්හලේ පාලකයන් ඉදිරියේ හඬා වැටෙන්නට සිදු වීමේ දුක්ඛදායක තත්ත්වයට වෙළඳ කලාපයේ ශ්‍රමික කාන්තාවන් මුහුණ දී සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් කළමනාකාරිණී චමිලා තුෂාරි පෙන්වා දුන්නේ, ඇගලුම් කර්මාන්ත ශාලා ලාභ ලබන තත්ත්වයක තිබියදී කොවිඩ් වසංගතයට මුවා වී සේවක වරප්‍රසාද කප්පාදු කරන බවයි. එහිදී වඩාත් පීඩාවට පත් වන්නේ කාන්තා ශ්‍රමිකයන් බවද ඇය පැවසුවාය.  උතුරේ ඇගලුම් කර්මාන්ත ශාලවල සේවිකාවන් භාෂාව යොදාගෙන පීඩාවට පත් කරන බවද නිසි සනිපාරක්ෂක පහසුකම්වත් ඔවුන්ට නොලැබෙන බවද ඇය සඳහන කළාය.

මෙම අවස්ථාවට එක්ව සිටි කටුනායක, බියගම ඇතුළු නිදහස් වෙළඳ කලාපවල ශ්‍රමික කාන්තාවන්ද අදහස් දැක්වූ අතර තමන් මුහුණ දෙන පීඩනය දරාගත නොහැකි මට්ටමක තිබෙන බව සඳහන් කළහ. ජීවත් වන්නට වෙනත් ක්‍රමයක් නොමැති නිසා ඇගලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බව පැවසු ඔවුන් අසීරු අවස්ථාවල ඩා බිඳු සාමූහිකය තමන් වෙනුවෙන් කරන කැපවීම අගය කරන බව පැවසූහ.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ එක් සේවිකාවක අදහස් දක්වමින් පැවසුවේ තමන් කොවිඩ් සමයේ දින 22 ක් නිරෝධායනයට ලක්ව සිටියදී කර්මාන්ත ශාලාවෙන් ලබා දුන්නේ සහල් කිලෝ 03ක් පමණක් බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.