ක්‍රිස්මස් දූපතේ රඳවා ඇති ශ්‍රී ලාංකික දෙමළ පවුලේ නඩුවට මැදිහත් නොවන බව ඔස්ට්‍රේලියා අගමැති කියයි

 ක්‍රිස්මස් දූපතේ රඳවා ඇති ශ්‍රී ලාංකික දෙමළ පවුලේ නඩුවට   මැදිහත් නොවන බව ඔස්ට්‍රේලියා අගමැති කියයි

රැකවරණය පතන අනෙක් අයට වැරදි පණිවුඩයක් යවන බැවින් දැනට ක්‍රිස්මස් දූපතේ රඳවා ඇති ශ්‍රී ලාංකික දෙමළ පවුලේ නඩුවට මැදිහත් නොවන බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් පවසා තිබේ.

මෙම නඩුව සම්බන්ධයෙන් “පමණටත් වඩා” අභියාචනා ඉදිරිපත් කිරීමෙන් මේ මාපියන් තම දරුවන්ට අසාධාරණයක් කරන බවට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් චෝදනා කර තිබේ. විපක්ෂ නායක ඇන්තනි ඇල්බේනිස් පවසන්නේ මෙම පවුලට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉඩ දිය යුතු බව පවසයි.

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිතව සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුල ක්‍රිස්මස් දූපතේ රැඳවීමට පියවර ගත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බව ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් පවසයි. අවසානයේදී රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන යාමෙන් පසුව ද ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඇතැමෙක් සටන් වදිති යි ද, අදාළ පවුල ඕස්ට්‍රේලියාවේ රඳවා තබා ගන්නැයි බලපෑම් හා උද්ඝෝෂණ කරන සමහර ආධාරකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සහ ක්‍රියාකාරිත්වය හේතුවෙන් මෙම පවුල ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රිස්මස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගිය බව ඩටන් පැවසීය.

ඔස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපත එහි රැඳී සිටින සිව් දෙනකුගෙන් යුත් ශ්‍රී ලාංකික දෙමළ පවුල සමඟ චීනයේ සිට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් රඳවා තබන ‘නිරෝධායන කලාපයක්’ බවට පත් කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කර තිබිණි.

ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම නවතාලීමට සටන් වැදීමට අමතර ව ඔවුනට නව අවදානමකට මුහුණ දීමට සිදු වූයේ ඉන් අනතුරුව ය. වෛරසය ඇතිවූ බවට වාර්තා වන චීනයේ වුහාන්වලින් ඉවත් වූවන් සඳහා “නිරෝධායන කලාපයක්” බවට ක්‍රිස්මස් දූපත පත්කිරීමට පෙර ශ්‍රී ලාංකික දෙමළ පවුල ක්‍රිස්මස් දූපතෙන් ඉවත් කරන ලෙස පවුලේ නීතිඥයෝ පසුගිය දා ඉල්ලා සිටියහ. නඩේෂ්, ප්‍රියා සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන පිළිවෙලින් වයස අවුරුදු හතර සහ දෙක යන වයස්වල පසුවන කොපිකා සහ තාරුනිකා යන අය ක්‍රිස්මස් දූපතට යැවුණේ පසුගිය අගෝස්තු මාසයේදී ය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *