ක්ෂුද්‍ර මූල්‍ය අහෝසිය ඉල්ලන සටනට ඩා බිඳු සාමූහිකයේ සහාය

සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීමේ මැතිවරණ පොරොන්දුව ඉටු කරන මෙන් රජයට බල කරන අඛණ්ඩ විරෝධතාවයට සහාය දීම සඳහා ඩා බිඳු සාමූහිකයද එක් වේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුවේ සංවිධායකත්වයෙන් හිඟුරක්ගොඩ දී පැවැත්වෙන විරෝධතාවට එක්වෙමින් ඩා බිඳු සාමූහිකය ප්‍රකාශ කළේ තම සංවිධානයේ නොමද සහය ඒ සඳහා හිමිවන බවයි. කටුනායක නිදහස් වෙළඳ කලාපය නියෝජනය කරමින් ඩා බිඳු සාමූහිකයට අමතරව ශ්‍රම අභිමානි සහ රෙඩ් සංවිධාන ද මෙම විරෝධතා ව්‍යාපාරයට සහය දීමට එක්ව සිටියහ.

විරෝධතාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩා බිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පැවසුවේ ක්ෂුද්‍ර මූල්‍ය මර උගුලට හසු වූ කාන්තාවන් නිදහස් වෙළඳ කලාපයේද සිටින නිසා දිවයිනේ සියලු කතුන් වෙනුවෙන් මෙම සටනට එක්වන බවයි.

“නිදහස් වෙළඳ කලාපයේ වැඩ කරන කාන්තාවන්ට විවාහ වෙලා දරුවො ලැබුණට පස්සේ රස්සාවලට යන්න බැහැ. ඉතිං ඒ හින්දා ස්වයං රැකියාවක් කරන්න කියල ණය ගන්නවා.  නමුත් මේ ණය ගෙවන්න සහන කාලයක් දෙන්නෙ නැහැ. ඉතිං මේ මාසෙ ණය ගත්ත නම් ලබන මාසේ ඉඳලම ගෙවන්න ඕන. සමහර ආයතන ණය දෙන්නේම පළමු වාරිකය කපාගෙන. ඉතිං කොහොමද ස්වයං රැකියා කරන්නේ කාන්තාවන්ට දිගින් දිගටම ණය ගෙවන්න වෙනවා” යැයි චමිලා තුෂාරි පවසයි.

ඇයට අනුව, මේ වනවිට තත්ත්වය ඉතාමත් නරක අතට හැරී ඇති අතර කටුනායක පමණක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 11ක් ක්‍රියාත්මක වේ. ඇතැම් කාන්තාවන් එම සමාගම් සියල්ලෙන්ම ණය ලබා ගෙන ඇත. ඒ එක් සමාගමකින් ගත් ණය ගෙවීම සඳහාය. ණය චක්‍රයක් නිර්මාණය වීමට හේතුව එයයි.

“ලංකාවේ ජනයාගෙන් ලක්ෂ 28ක් ණය ගත්ත අය. ඒකෙන් ලක්ෂ 24ක් කාන්තාවො. මේකට සම්බන්ධ තව පැත්තක් කාන්තාවන්ට වත්කම් අඩුවීම. ඉඩම් හිමිකම ගත්තත් කාන්තාවො සියයට 16කට විතරයි ඉඩම් තියෙන්නේ. එයාලට අවස්ථාවක් නැහැ වත්කම් ඇපයට තියලා ණය ගන්න. කරන්න පහසු දේ කීපදෙනෙක් එකතු වෙලා මේ සමාගම්වලින් වැඩි පොලියට අසාධාරණ කොන්දේසිවලට ණය ගන්න එක. මේ වෙනකොට දෙසීයක් විතර ජීවිතවලින් වන්දි ගෙවලා තියෙනවා.  ඇතැම් තැන්වල කාන්තාවන් ලිංගිකව අපහරණය වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් මේ ගැන කරපු වාර්තාවක තියෙනවා එක කාන්තාවක් කිව්වා කියලා ණය උගුලෙන් ගැලවෙන්න ඇයට කරන්න තියෙන්නේ වකුගඩුවක් විකිණීම විතරයි කියලා” යැයි චමිලා තුෂාරි වැඩිදුරටත් සඳහන් කරයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.