smart

ක්ෂුද්‍ර මුල්‍ය උගුලට අසු වූ අකුරු නොදත් වැදි කතුන්

ලක්මාල් බදුගේ

වෙල්ලස්ස හා බිම්තැන්න දඹාන කේන්ද්‍ර කරගෙන සිය සංස්කෘතිය රැක ගනිමින් වනාන්තර ආශ්‍රීතව ජීවත්වු වැද්දන්ට සිය නිජබිම් හැර යාමට සිදුවුයේ විවෘත ආර්ථිකය සමග මෙරට වෙලාගත් සංවර්ධනයේ අරුණලු හේතුවෙනි. එකී අරුණැල්ල වැද්දන්ගේ සංස්කෘතිය ජීවන මාර්ග හා නිජබිම් පුළුස්සා දැමු ගිනිදැල්ලක් වුවා මිසක කිසිවිටෙක ඔවුන් ගේ ජීවිත වලට ආලෝකය උදාකර නොදුන්නේය. ඔවුන්ගේ ජීවිත සංවර්ධනයේ අරුණැල්ල නිසා හටගත් ගිනි දළු වල යෝධ සෙවනැල්ලෙන් වැසී ගියේය.

හිතුමනාපයේ මංගැච්චු රුකුල් පොජ්ජවල් අභය භූමි හා වනෝද්‍යාන බවට පත්ව 80 දශකයේ දී වැද්දන් ඒ බිමෙන් බලහත්කාරයෙන් පන්නා දැමිමත් සමග අන්ධකාරය ක්‍රමාණුකූලව වැදි ජන දිවියට ඇතුලු වන්නට වුහ. මේ නිසා ඇතැමුන්ට දඩයම හා පැණි කැඩීම තහනම්ව ගියේය. දඩයම හා බැදී තිබු බොහෝ සංස්කෘතික යුතුකම් ද නෑ යකුන් පිදුම වැනි කාරීන් ද අත්හැරි ගියේ කාලයක් පුරාවට ඒවා ඉටු කල වනාන්තර තුලට වැදීම ආණ්ඩුවේ මහත්තැන් විසින් නීති හා අණ පනත් මගින් තහනම් කිරීම හේතුවෙනි.

මේ නිසාම සිය ජීවිකාව ගෙන යාමට බොහෝ දෑ කිරීමට වැද්දන්ට සිදුව තිබේ. දිඹුලාගල, දලුකාන තරුණ වැදි නායකයා ජීවත්වීමට කොන්ක්‍රීට් අනයි. ඔහුගේ රැහේ සෙසු තරුණයන් ද ජීවත්වීමේ අරගලය තුල කූලි වැඩ කරති. පරම්පරා ගණනාවක් ජීවත්වු දිඹුලාගල මහ වනයේ ගල් ලෙන් බුදු පුතුනට පුජා කොට පාරම්පරික ගල්ගෙය මෙන්ම සිය බඩවියතද අහිමි කරගෙන කදු බැසි මේ මිනිස් ගජ්ජෝ ජීවත්ව සිටිත්දෝ කුමක් කරද්දෝ කොහි ඇත්දෝ යන්න කිසිවකු සොයා නොබැලීම හේතුවෙන් බොහෝ අසරණව දිවි ගෙවති. 

ආණ්ඩුවේ වගකිව යුත්තන් සිය වගකීම් පැහැර හැරිම නිසා දරිද්‍රතාවයේ ගොදුරක් බවට පත්ව ඇති වැදි ජනයා වෙලා ගැනීමට දශකයකට පෙර හතු පිපෙන්නාක් මෙන් මෙරට පිපී ගිය ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් ද ඉව අල්ලනුයේ සතුටිනි. වැදි ජනයා සොයා ඈත නියම්ගම් තුලට වැදි ඇති මෙම සමාගම් සිය රාජකාරිය යුහුසුළුව අරඹා තිබේ. මළපොතෙහි අකුරක් බැරි වැදි ජනයා සිය පහසු ගොදුරක් බවට පත්කර ගෙන ඇති මෙම සමාගම් හෙනිනාගල, අම්පාර- පොල්ලෙබැද්ද, ගල්වල යාය හා දිඹුලාගල – දලුකාන වැදි ජනයා උපක්‍රමශීලි අයුරින් සිය ණය උගුලෙහි ගොදුරක් බවට පත්කර ගෙන ඇති අයුරු පෙනීයයි. 

රක්ෂිත වනාන්තර තුලට වැද්දන්ට පිවිසීම තහනම් විමත්, වගා කිරීමට කුඹුරු ඉඩම් නොමැති කමත් නිසා මේ වැදි ජනයා බොහෝ අසරණව ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටිති. පැණි කැඩීමට හා කටු අල හෑරීමට පමණක් කැලෑ වැදීමට යම් ලිහිල් බවක් පැවැතීම ජීවත්වීමට කිසියම් අස්වැසිල්ලක් බැව් ඔවුහු කියති. මේ හේතුවෙන් වගාවක් කෙරුමට හෝ ඉඩමක් නොමැතිකමින් පීඩා විදින අම්පාර ගල්වලයාය වැදි ගමෙහි කාන්තාවන් රැසක්ම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් වල ගොදුරක් ව සිටිති. රුපියල් 30,000 කින් පටන් ගන්නා කණ්ඩායම් ණය ඇතැම් සමාගම් සති වාරික ලෙස අය කරති. ඇතැම් සමාගමක් සිය වාරිකය මාසිකව අය කර ගනිති. කෙසේ වෙතත් අකුරු නොදන්නා මේ මිනිසුන් ඔවුන් පහසුවෙන් ගොදුරු කර ගනුයේ ඔවුන්ගේ ජීවිත වටා දැවටි ඇති දරිද්‍රතාවයේ සෙවනැල්ල හේතුවෙනි.

“ඉස්සර දඩයමේ ගියාට දැන් යන්න බෑ වනජීවියෙනුයි පොලිසියෙනුයි අල්ලලා දඩ ගහනවා ඒ නිසා කුඹුරු කරන්න කියලා හිතාන ණය ගත්තා. කව්පි හිටෙව්වා නියං සායට අහුවුණා. ගෙවා ගන්න බැරිවුණා. දැන් නඩු දානවා කියනවා. ලියුම් කරදහි එනවා ඒවායේ තියෙන්නේ මොනාද කියන්න දන්නෙ නෑ” යි පවසන 37 හැවිරිදි තලා බණ්ඩාරලාගේ චන්ද්‍රනි අම්පාර, පොල්ලෙ බැද්ද, ගල්වල යාය වැදි ගමෙහි ණයට ‍ගොදුරුව ඇති තවත් කතකි.

කතුන් පමණක් ඉලක්ක කර ණය දෙන ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් කුඩා කණ්ඩායම් අටවති. එකම පවුලේ කිසිවකුට ණය නොදෙන බව සම්මතය යැයි කියති. ආර්ථිකය නගා සිටුවීමට උපකාරයක් ලෙස මෙලෙස ණය දෙන බැව් කියති. නුමුත් එකම රැහේ අයට ණය දී වැදි ජනයා ද සෙසු ගැමි කාන්තාවන් සේම ණය උගුලකට සිරකර ඇති සැටි පෙනෙති.

“රුපියල් ලක්ෂයක් ගත්තා සතියකට 2650 ක් ගෙවන්න ඕන. ඒ මහත්වරු ආවම රුපියල් 500 ක් විතර දෙනවා. මොනා කරන්නද කියලා අපි දන්නෙ නෑ මහත්තයා කුලි වැඩට යනවා ආයේ වගාවක් කරන්නත් සල්ලිත් නෑ කැලේ යන්නත් බෑ අපිට ඉඩමක් ඇත්තෙත් නෑ” 

ගල්වල යාය වැදි ගමෙහි ගැහැණියක වන 23 හැවිරිදි තලා බණ්ඩාරලාගේ පුංචි මැණිකා රුපියල් 50,000 ක ණයක් නිසා ණය උගුලේ සිරවී ගෙවාගත නොහැකිව සිටිති.

ක්ෂුද්‍ර මුල්‍ය ණය සමාගම් වල ගොදුරක් බවට මන්දමානසික තත්වයෙන් පෙලෙන ප්‍රථිකාර ලබන වැදි කතක ද ගොදුරුව සිටි. ගල්වල යාය ගමෙහි කෝරලේ ගමගේ ශ්‍රියාකාන්ති පෙරේරා නම් 50 හැවිරිදි මෙම කාන්තාව රවටා අත්සන් ගෙන ණය ලබා ගැනීමට කණ්ඩායමේ වෙනත් අයෙකු කටයුතු කර ඇති බව ඇය කියයි. 

“බණ්ඩාර මැණිකෙට තමා මම ණය අරන් දුන්නෙ. මම අස්සන් කලා පස්සෙ මට ලියුම් කරදහි ආවා ගෙවන්න කියලා. ණය දෙන මහත්තුරු ගෙදරට ආවා නඩු දානවා ඒ නිසා ගෙවන්න කියලා කිව්වා” යැයි ඇය පවසයි.

ණය ලබාදුන් ආයතනය නිසි ඇගයීමක් කලෙහි නම් මන්ද මානසික රෝගී කතකට ණය ගිවිසුම් අස්සන් කිරීමට නොහැකි වන්නේය. ඇය දන්නේ අස්සන් කිරීමට පමණකි. ඇය පමණක් නොව ඇගේ කණ්ඩායමේ සෙසු අයද අකුරු නොදනිති. අකුරු නොහඳුනති. ණය ගත් වැදි රැහේ ඇත්තියන් පැවැසුවේ ‍ණය දෙන මහත්වරුන් පුරවා දුන් කරදහි පෝරම් වල අස්සන් ගැසු බව පමණක් තමන් දන්නා බවය.

හෙනානිගල වැදි ගමෙහි කාන්තාවක වන ඌරු වරිගේ අනුලාවති පැවැසුවේ මසුන් ඇල්ලීම සඳහා සිය සැමියාට දැල් ගැනිමට ණය ගත්තද ඒවා සිය පවුලේ පරිභෝජන කටයුතු සඳහා වියදම් විමෙන් ණය ගෙවා ගැනීමට නොහැකි වු බවයි. 

“කලින් 50,000 ක් ගත්තා ඒක ගෙව්වා පස්සෙ 100,000 ක් ගත්තා. 60,000 ක් ගෙව්වා ඉතිරි ටික තමා ගෙවාගන්න බැරිවුණේ. දැන් නඩු දානවා කියලා කිව්වා මොනා කරන්නද ඉතින්” යැයි ඇය පවසයි. 

ක්ෂුද්‍ර මුල්‍ය උගුලට සිරවි ඇති තවත් වැදිගමක් වනුයේ හෙනානිගලයි. ගැටලුව විසඳීමට රැහේ නායක ඇත්තන්ටද නොහැකිව තිබේ. ඒ රැහේ සෙසු මිනිස් ගජ්ජන් වටා වෙලි ඇති දුප්පත්කමත් ඒ නිසා ඇතිව පවතින ආර්ථික ගැටලු ණය ගැනීමට බල කෙරෙන තැනට රැහේ ඇත්තන් පත්කර ඇති හෙයිනි. හෙනානිගල වැදි ජනයා ද බොහෝ පිරිසක් ණය උගුලට ගොදුරුව සිටිති. 

දිඹුලාගල, දලුකාන වැදි ජනයා ද ක්ෂුද්‍ර මුල්‍ය ණයෙහි ගොදුරක්ව ඇති බව එහි ආදිවාසි නායක තලාවරිගේ ප්‍රියන්ත ඇත්තන් පවසයි. ඔහු පවසනුයේ වනජීවි නිලධාරින් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සිය පාරම්පරික වනාන්තර පෙදෙසට පිවිසීම අවහිර කිරිම නිසා තමන්ගේ රැහේ ඇත්තන් මෙම ණය උගුලෙහි ගොදුරු බවට පත්ව ඇති බවයි.

“අපේ රැහේ 200 ක් විතර ඉන්නවා ගොඩාක් අය කුලි වැඩ කරන්නේ කරන්න දෙයක් නැති නිසා මමත් කොන්ක්‍රීට් අනන්න යනවා. සමහර දවස් වලට කොළඹ වැඩටත් ගියා ජීවත් වෙන්න විදිහක් නැති නිසා ගොඩාක් අය ගමට ඇවිත් දෙන ඔය ණය අරන් තමා ඉන්නෙ. මහනායක ඇත්තෝ වරිග සභාවෙදි කියනවා නායක ඇත්තන් කිසිවක් කරන්න එපා රැහේ අනිත් ඈයෝ බලාන ඉන්න කියලා මට ඒ දේ කරන්න අපහසු තත්වයක් දැන් තියෙන්නේ. මහවැලි නිලධාරින් අපිට අයිති අපේ කැලේට යන්න දෙන්නෙ නැහැ. පැනි කඩන්න, අල හාරන්න දඩයමක් කරන්න අපේ අයට කැලේට යන්න බැහැ. හේනක් කොටන්න ඉඩමක් නැහැ. අපිට ඉඩම් බෙදලා දෙන්නෙත් නැහැ. අපේ රැහේ ඈයන්ට නොදුන්නට වෙනත් අය කැලේ කපලා ඉඩම් අල්ලන‍වා. මේ නිසා අපිට ජීවත් වෙන්න කුලි වැඩ කරන්න යන්න වෙලා” යැයි පවසයි.

මෙරට ආදි වාසි වැදි ජනයා ක්ෂුද්‍ර මුල්‍ය නම් බාදුරා ගොටුවේ ගොදුරක්ව අසරණවී ඇතැයි පවසන ජාතික සහයෝගීතා සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ පවසනුයේ ක්ෂුද්‍ර මුල්‍ය ණය වසංගතය සාමාන්‍ය ගොවි කම්කරු ජනයා පමණක් නොව මෙරට වැදි ජනයාව ද ආක්‍රමණය කර ඔවුන් දරිද්‍රතාවයේ අන්තයටම හෙලා ඇති බවයි. වැඩිදුරටත් අදහස් දක්වන සුරංග රූපසිංහ මහතා

ජාතික සහයෝගීතා සංවර්ධන පදනමේ සුරංග රූපසිංහ

“මේක මහා භයානක තත්වයක් ක්ෂුද්‍ර මුල්‍ය ණය අරන් ඒ ණයෙහි අසීමිත පොලිය සමග එන ණය වාරිකය ගෙවා ගන්න බැරි වුණාම දිවි නහගන්නයි වෙන්නෙ. මම දැකපු එක් දෙයක් ණය දෙන ආයතන වලට අවශ්‍ය වන්නේ ණය දෙන්න මිසක් ඒ ණය නැවත අය කර ගන්න පුළුවන් තත්වයක ඉන්නවාද කියලා සොයා බලන එක නෙවෙයි. ඒ නිසා මෙරට ගම්වල අන්ත අසරණ ‍ගොවි ධීවර පවුල් ණය උගුලට හිරවෙලා අකාලයේ මියැදී තියෙනවා. ඒ තත්වය දැන් වැදි ජන ජීවිත වලට ද බලපෑම් කිරීම ඛේදජනක තත්වයක් හෙනානිගල, දලුකාන, පොල්ලෙ බැද්ද වැනි වැදි ගම් වල ආදි වාසි කාන්තාවන් ණය උගුලට හිරවෙලා අවසන් මේ ආදි වාසි ජනයා අකුරු දන්නෙ නැහැ. සරලවම කිව්වොත් අකුරු හඳුනන්නෙ නෑ ණය ගනිද්දි ගිවිසුම දැකලා නෑ තියෙන්නෙ මොනවද කියලා දන්නෙ නෑ නමුත් විශාල ණයක අධික පොලියක ණය කාරයෙක් බවට පත්වෙලා මේක භයානක තත්වයක් මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට දිළිඳු පවුල් තව තවත් දරිද්‍රතාවයේ අන්ත අගාධයටම වැටී ගිලී යාවි. ඒ නිසා මේ තත්වය වළක්වන්න අපිට ගන්න පුළුවන් උපරිම පියවර ගන්නවා. අපි රජයට පවා බල කරන්නේ මේ ක්ෂුද්‍ර මුල්‍ය ණය කෙමන වහා පාලනය කරන්න පියවර ගන්න කියන එකයි” යැයි පැවැසීය. 

දඩයමින් මී කැඩීමෙන් හා අල හාරමින් ස්වාධීන ජීවන රටාවක ගමන් කරමින් නැගි සිටි මෙරට වැදි පරපුර ද ක්ෂුද්‍ර මුල්‍ය ණය සමාගම් වල ගොදුරක් වීම ඛේදජනක තත්වයකි. 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *