කලු ජාතික සංගීතවේදියාට පොලීසිය පහර දීම ලැජ්ජාවට කරුණක් – ප්‍රංශ ජනපති
කලු ජාතික සංගීතවේදියෙකුට වර්ගවාදී ප්රවේශයකින් යුක්තව ප්රචණ්ඩ ලෙස පහරදීම නිසා ප්‍රංශ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අතරින් තිදෙනෙකු ප්‍රශ්න කිරීම්වලට ලක් වේ. කලු ජාතිකයාට පහර දෙන අන්දම කැමරාවක සටහන් වීම නිසා ඔවුන් මෙම චෝදනාවට ලක්විය.
පසුගිය සති අන්තයේ සිය සංගීත ස්ටූඩියෝවට ඇතුළු වෙන්නට උත්සාහ ගනිමින් සිටියදී මිනිත්තු කිහිපයක් තිස්සේ වාර්ගික අපහරණයට ලක්කරමින් සංගීත ශිල්පී Michel Zeclerහට දිගින් දිගටම පොලීසිය පහර දෙන අන්දම දැක්වෙන වීඩියෝ ලූප්සයිඩර් වෙබ් අඩවියේ ප්‍රචාරය විය. පාපන්දු ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සිටි Mbappe සහ Antoine Griezmann ඇතුළු ජනප්‍රිය තාරකාද මෙම වර්ගවාදී ප්‍රහාරය හෙළා දුටහ.
සිද්ධිය හෙළා දකිමින් “එය අනුමත කළ නොහැකි ප්‍රහාරයක්” යැයි සිකුරාදා පැවසූ ජනාධිපති මැක්රෝන් වෙනස්කොට සැළකීමට එරෙහිව යෝජනා ඉදිරිපත් කරන මෙන් ප්‍රංශ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. “වෛරය හෝ වර්ගවාදය පැතිරවීම ප්‍රංශය අනුමත කළ යුතු නැහැ” ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පැමිණිලි කිරීමට ගොස් පොලිස් මූලස්ථානයෙන් පිටතට පැමිණි Michel Zecler මාධ්‍ය අමතා පැවසුවේ “ඔවුන් මට කිහිප වතාවක් කිළිටි කල්ලා කියා අපහාස කරමින් මුහුණට වැරෙන් පහර දුන්නා” යනුවෙනි.
ලූප්සයිඩර් හී දැක්වෙන වීඩියෝවකට අනුව සිද්ධිය ඉහළ සිට රූපගත කළ අසල්වැසියෙකු පවසා ඇත්තේ එක් නිලධාරියෙකු Michel Zecler ගේ මුහුණට හත්වරක් පමණ දණහිසෙන් පහර දුන් බවයි.
“පොලිස්කාරයා එයාගෙ අත රිදෙනකම් ඒ මනුස්සයාට ගැහුවා මං දැක්ක” යනුවෙන් සිද්ධිය දුටුවෙකු පවසා තිබේ.
මේ සතියේ මුල ආන්දෝලනාත්මක අන්දමින් බලය යොදා පැරීසියේ පැවති සංක්රමනික කඳවුරක් ඉවත්කොට අවධානයට ලක්ව සිටින පොලිස් ප්‍රධානී Didier Lallement ගේ අනාගතය ප්‍රශ්න කිරීමටද මෙම සිදුවීම හේතුවක් වී තිබේ.
මාධ්‍ය ඔස්සේ පොලිස් නිලධාරීන්ගේ මුහුණු පෙන්වීම වළක්වාලමින් නව ආරක්ෂක නීති හඳුන්වාදීමට ප්‍රංශ ආණ්ඩුව ගන්නා උත්සාහය පියවරක් පසුපසට ගැනීමටද මෙම සිද්ධිය හේතු වනු ඇතැයි කියැවේ.
ඒ අතර ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ දැනටමත් වැඩ තහනම් කොට සිටින පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට බලධාරීන් ක්‍රියා කර ඇති බවයි.
ලසන්ත ද සිල්වා