කලු කොටි ආයෙමත්,

බිහිසුණු යුධ සමයේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාර මෙහෙය වූ ප්‍රභාකරන්ගේ කොමාන්ඩෝ ඇණිය ලෙසද හැඳින් වූ සටන් කරුවෝ පිරිසක් වූහ. ඉහළ කොටි නායකයින්ගේ ආරක්ෂාවද භාර වූ හමුදාවට එරෙහිව සටන් කිරීමේදී වැදගත් අංශයක් ලෙස හඳුන්වා ගත් ඔවුන් ව්‍යවහාරයේදී කලු කොටි Black Tigers වූහ. දැන් ඒ දෙපා කලු කොටි ගැන අසන්නට නොලැබුණත් සිව් පා කලු කොටින් ගැන අසන්නට ලැබේ. එය බියට නොව ප්‍රීතියට හේතුවකි. ඒ ශ්‍රී ලංකාවේ කලු කොටින් සදහටම මිහිතලයෙන් සැඟව ගොස් ඇතැයි කලක් තිස්සේ සැළකුණු බැවිනි.
ලංකාවේ කොටියා.
2015 දී ඇස්තමේන්තු ගත අන්දමට රට පුරා වනාන්තරවල 700-950 ත් අතර සංඛ්‍යාවක් වෙසෙන ලංකාවේ කොටින් ආවේණික හා වඳවීමට භාජනය විය හැකි උප විශේෂයක් ලෙස රතු දත්ත පොතට ඇතුළත් කර තිබේ. මේ උප විශේෂය ඉන්දියානු කොටියා Indian leopard/tiger ට වඩා කුඩාය.
ඇතැමෙකුට අනුව ලංකාවේ සිටින්නේ කොටියා නොව දිවියා ය. ඌ වෙල්වට්මය සමකින් යුක්ත සිරුරේ පුල්ලි සහිත වන බිළාලයෙකි wild cat. කොටියා හා දිවියා අතර වෙනස පිළිබඳ විවාද කරන ඇතැම්හු කොටියා වනාහී පුල්ලි නොව සමෙහි වෛරම් ඇත්තෙකැයි කියන්නේ ව්‍යාඝ්‍රයා පිළිබඳ සඳහන් කරමිනි. ඒ කෙසේ වෙතත් සමෙහි පුල්ලි සහිත ව්‍යාඝ්‍රයින් ලංකාවේ වනාන්තරවල දක්නට නොලැබෙන අතර දිවියා හෝ කොටියා ලෙස අප ව්‍යවහාරයේ හඳුන්වන උප විශේෂයක් සහ තවත් වන බිළාල වර්ග කිහිපයක් මෙරට වාසය කරයි. පැන්තෙරා පාඩුස් panther pardus නමින් සත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ සත්වයා බෙහෙවින් වැදගත් වන සම්පතක් වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික බැවිනි. ලංකාවේ සත්ව ලෝලීන් අතර මෙන්ම විශේෂඥයින් අතරද කොටියා නමින් ප්‍රචලිතව සිටින මේ සත්වයා පිළිබඳව 1956 දී සත්ව විද්‍යාඥ දැරණියගල වැදගත් තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත. 2015 දී ඇස්තමේන්තු ගත අන්දමට රට පුරා වනාන්තරවල 700-950 ත් අතර සංඛ්‍යාවක් වෙසෙන ලංකාවේ කොටින් ආවේණික හා වඳවීමට භාජනය විය හැකි උප විශේෂයක් ලෙස රතු දත්ත පොතට ඇතුළත් කර තිබේ. මේ උප විශේෂය ඉන්දියානු කොටියා Indian leopard/tiger ට වඩා කුඩාය. ඇතැමුන් උන් කොටියා නොව දිවියා panther ලෙස හැඳින්වීමට සිරුරු ප්‍රමාණය මෙන්ම කහ පැහැ සමෙහි වන පුල්ලිවල ස්වභාවයද හේතු වන්නට ඇත. වළිගයත් සමග මීටර් දෙකකට ආසන්න දිගකින් හා කිලෝග්‍රෑම් තිහක සාමාන්‍ය බරකින් යුක්ත ලංකාවේ කොටින් අතර කිලෝ සියය දක්වා බරැති සතුන්ද සිටි බව වාර්තා වී තිබේ. ඒ අනුව හඳුන් දිවියා ආදී නම්වලින් හැඳින්වෙන සෙසු සතුන් හා සළකා බලනවිට ප්‍රමාණයෙන්ද විශාල මේ සත්වයා ශ්‍රී ලංකා කොටියා ලෙස හැඳින්වීම යුක්තියුක්ත වන අතර එහි ඉංග්‍රිසි පරිවර්ථනය ටයිගර්Tiger නොව Panther පැන්තර් ලෙස විය යුතු බව විශේෂඥ මතයයි. ලංකාවේ වන උයනකදී වුව නැරඹීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස දැක්වෙන කොටින් අතර කලු කොටි black panther නැරඹීමට ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නාක් මෙන් දුර්ලභ සිදුවීමක් වන්නේ උන් අතිශය දුර්ලභ බැවිනි.
කලු කොටි වඳ වුණාද?
පසුගිය කාලයේ වාර්තා වූයේ ලංකාවේ තවදුරටත් කලු කොටි දක්නට නොලැබෙන අතර උන් වඳව ගොස් ඇති බවයි. දෙදහසේ දෙවැනි දශකයේදී කලු කොටින් දුටු බවට ඉඳහිට වාර්තා පල වූ නමුත් ප්‍රබල ඡායාරූප සාක්ෂි ලැබුණේ අල්ප වශයෙනි. පිටදෙණිය මාවුල්දෙණියේදී වැඩුණු කලු කොටියෙකු වන ජීවී නිලධාරීන්ට හමු වූ නමුත් මන්දකට හසු වූ එම සත්වයා මරණයට පත්ව තිබුණි. උගේ සම ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කර සංරක්ෂණය කළ අනුරුව පොළොන්නරුව ගිරිතලේ වනජීවී පුහුණු සහ සංරක්ෂණ කේන්ද්‍රයේ ප්‍රදර්ශනයට තබා ඇත. මේ සත්වයාගෙන් පසු එවැනි සතුන් පිළිබඳ සජීවී අත්දැකීම් වාර්තා නොවුණු හෙයින් ලංකාවේ කලු කොටි මිහිමතින් සමුගෙන ඇතැයි යන මතය පළ විය. එහෙත්, නැවතත් සිරිපා අඩවිය අවටින් කලු කොටියෙකු පිළිබඳ ඡායාරූප සහිත සාධක හමු වීම වන සත්ව ලෝලීන්ට නැවුම් අපේක්ෂාවකි. මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් දුරස්ථ චලන කැමරා යොදාගෙන කලු කොටියාගේ දසුන් ලබා ගන්නට සමත්ව සිටිති. ඒ සඳහා උපකරණ සපයමින් සහය වී ඇත්තේ ට්‍රිපිකල් එකෝ සිස්ටම් ආයතනයයි. ලංකාවේ තවත් තැන් කිහිපයක කලු කොටින් සිටිය හැකි නමුත් ඉතා සීමිත මේ සත්වයා තවමත් ජීවත් වන බව තහවුරු කිරීම වනජීවීන් සම්බන්ධයෙන් මුලු මහත් ජාත්‍යන්තරයේම උනන්දුව වඩා ලන්නකි.

කලු කොටි හැදෙන්නේ කොහොමද?
ඇතැම් අදහසකට අනුව උන් වෙසෙන අඳුරු සහ සීතල පරිසරය නිසා කලු කොටින් බිහි වීමට පුලුවන් යැයි කියවුණද මේ අනුවර්තනයට බලපාන හේතුව ඉඳුරාම ජානමය එකකි. කොටියාට උගේ ශරීර ලක්ෂණ මව්පිය ජානවලින් ලැබෙන අතර කළාතුරකින් කලු පැහැයට හේතුවන නිලීන ජානයක් ප්‍රමුඛ නැතහොත් ඉස්මතු වීමෙන් සත්වයා කලු වර්ණයකින් යුක්ත වීමට ඉඩ තිබේ. එය එසේ සිදුවන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට නිශ්චිත අදහසක් ඉදිරිපත්ව නැත. සරළව කිවහොත් එය සාමාන්‍ය පෙනුමැති මව්පිය යුවළකට ඇළි දරුවෙකු ඉපදීම වැනි කාරණයකි. ඇළි ඇතුන් ඇළි කැස්බෑවන් වැනි සාමාන්‍ය පෙනුමෙන් වෙනස් සතුන් පිළිබඳ ප්‍රවාද සහ සත්‍ය සිදුවීම් පවා අපට අසන්නට ලැබෙන අතර ඒවා බොහෝමයක් මිත්‍යාවන් බව පැවසිය යුතුය. ඒ මේ සතුන් වාසනාව හෝ අවාසනාව සමග සම්බන්ධයක් නැති හුදු අහම්බයන් නිසාය. සමෙහි කලු පැහැයට හේතුවන මෙලනින් වර්ණකය නිපදවීමට විධානය වන ජානය ප්‍රමුඛ වීමේ ප්‍රථිඵලය කලු කොටින් ගෙන් දැක ගත හැකිය. සාමාන්‍යයෙන් කහ පසුබිමේ කලු පුල්ලි සහිත කොටි බහුලව සිටින්නට හේතුව උන් කල්ලන් කිරීමට අදාල ජානය නිලීනව තිබීමයි. යම් විටෙක එය පෙරමුණට පැමිණියහොත් බිහිවන්නේ කලුම කලු කොටියෙකි. බොහෝවිට අඳුරු පරිසරයන්හිදී කලු කොටින් දක්නට ලැබෙන අතර එම අනුවර්ථනය උන්ටද වාසියකි. ඇතමුන්ට අනුව මේ විකෘතිය උන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද ප්‍රයෝජනවත්ය. මේ සතුන්ගේ සිරුරේ අතිරික්ත කලු පැහැය නිසා පුල්ලි සැඟව පවතින අතර සමහරවිට යම්තමින් දිස් වීමට පුලුවන. ඒවා හොල්මන් රොසෙට්ටු Ghost rosettes ලෙස හැඳින් වේ.
කලු පැහැ දුර්ලභ සතුන් වෙසෙන්නේ ලංකාවේ කොටින් අතර පමණක් නොවේ. 1794 බෙංගාලයෙන් ගෙන ගොස් ලන්ඩනයේ ප්‍රදර්ශනය කළ කලු කොටියාගේ සිට උන් පිළිබඳ අත්භූත කතා, සිනමාපට, කාටූන් ආදිය මෙන්ම විවිධ මතිමතාන්තරද පැතිර ගිය අන්දමට ලෝකයේ තැන් තැන්වල මේ සොබාදමේ විස්මිත දරුවා ජීවත් වේ. උන් වැනිව දුලබ අපේ කලු පැන්තරයා හෙවත් කොටියා හමුවීමද වාසනාවක් වන අතර වනජීවී දෙපාර්තමේන්තුවට අනුව මෙසේ වාර්තා වූ කොටියා වෙසෙන්නේ කොටි පවුලක් සමගය. ඉදින් මේ සොයා ගැනීම වඩාත් වාසනාවන්ත වීමට නම් අලුතෙන් හමු වූ කල්ලා සිය නිලීන ජාන පවුලේ දරුවන්ට ද ලබා දී අඛණ්ඩ ගමනකට යොමු කළ යුතුය.
ලසන්ත ද සිල්වා