කලාපුරයේ පදිංචිකරුවන් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී

නදීක දයා බණ්ඩාර – මහනුවර
නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ගුණාත්මක තත්ත්වයෙන් තොර ඖෂධ භාවිත කරනවා යැයි කියමින් ඇතැම් සංවිධානාත්මක පිරිස් සෞඛ්‍ය සේවාව කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සහ කරන බව අමාත්‍යවරයා කීවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද (12) පැවැති කාලාපුරයේ පදිංචිකරුවන්ගේ ඉඩම් සඳහා නිදහස් දීමනා පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. වර්ෂ 1964, 1976 සහ 1988 යන වර්ෂවලදී එම ගම්මානයේ කලාකරුවන් හා හස්ත කර්මාන්ත ශිල්පීන් පදිංචිකරවා ඇති අතර ඔවුන් සඳහා මේ වන තුරු ස්ථීර ඉඩම් ඔප්පු ලබාදීමේ ගැටලු මතුවී තිබිණි.
ඒ පිළිබදව රජයේ අවධානය යොමු කොට කඩිනමින් ස්ථිර ඔප්පු සකස් කිරීමට කටයුතු යොදා ඇති අතර එහි පළමු අදියර යටතේ ඔප්පු 38ක් ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. දෙවන අදියර යටතේ ඔප්පු 50ක් ලබාදීමට නියමිතය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, නිදහස් සෞඛ්‍ය සේවාවට දේශපාලනික වශයෙන් පවා හානි කරන අවස්ථා පවතින බවත් වෛද්‍යවරුන් ලබා දෙන ඖෂධවල විශ්වාසය බිද දැමීමට ඔවුන් උත්සහ කරන බව කීවේය.
එනමුත් ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ ලබාදී වර්ෂ 1942 සිට ක්‍රියාත්මක වන මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් රැක ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කීවේය.
දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමයේදී මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය යෙදවුම් රැසක් මෙරට නිෂ්පාදනය කළ අයුරින් යළිත් ඇතැම් නිෂ්පාදන දේශීය වශයෙන් සපයා ගැනීමට සැලසුම් යොදා ඇතැයි ද අමාත්‍යවරයා කීහ. ඒ අනුව ශෛල්‍ය ගෝස් නිෂ්පාදනය දේශීය නිෂ්පාදකයන් විසින් ආරම්භ කොට ඇති බවත් ඒ තුළින් වාර්ෂිකව රුපියල් මිලියන 200ක් පමණ දේශීය නිෂ්පාදකයන්ට ලබාදිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
ආහාර සුරක්ෂිතතාව තුළින් මන්ද පෝෂණය අඩු කිරීමේ ගෙවතු වගා වැඩසටහනක් සැලසුම් කොට ඇතැයි ද සඳහන් කළ අමාත්‍යවරයා නිවසේදී වගා කළ හැකි භෝග වගා කිරීම පිළීබදව මහජනය උනන්දු කරවිම එමගින් අපේක්ෂීත යැයි කීහ. ගෙවතු භෝග වගා ආරම්භ කිරීම මගින් මන්ද පෝෂණය 50%ක් දක්වා පහත දැමීමට එමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීවේය.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහඇල්ල මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.