කල් ඉකුත් වූ ඇන්ටනෝව් ගොඩගන්න යුක්‍රේනියානුවෝ එති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනෝව් ඒ.එන් 32 වර්ගයේ ගුවන් යානා 03ක ජීවකාලය අවසන්ව ඇති හෙයින්, ඒවා පරීක්ෂා කර බලා අවශ්‍යනම් යුක්‍රේනය වෙත රැගෙන ගොස් පූර්ණ අලුත්වැඩියාවක් සිදු කිරීමට සහ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට එරට විශේෂඥ ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායමක් දිවයිනට පැමිණෙති.
මෙසේ පැමිණ ඇත්තේ එම යානා නිපදවූ ඇන්ටනෝව් ඩිසයින් බියුරෝ ආයතනයේ විශේෂඥයින් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසයි.

යුක්‍රේනයේ ස්කයි අප් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි ඉංජිනේරුවන් පිරිස එරටදී නිරෝධායනය වී කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී නැති බව තහවුරු කරන ලද නමුත් මීගමුව ජෙට්වින්ග් හෝටලයේ නිරෝධායන පහසුකම්වලට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සේවය ලබා ගැනීමට නියමිතයි.
එහිදී අවශ්‍ය වුවහොත් මෙරට ගුවන් හමුදාවේ නියමුවන් විසින් යානා අලුත්වැඩියාව සඳහා යුක්‍රේනයට රැගෙන යනු ඇත.
අද ඉංජිනේරුවන් රැගෙන පැමිණි යානය නැවත පිටත් වනවිට සියරට යාමට නොහැකිව මෙරට රැඳී සිටි යුක්‍රේන ජාතික 116 දෙනෙක්ද පිටත්ව ගියහ.