කල්තොට වෙහෙරගල පුරාවිද්‍යා භූමියක් කරන්නැයි ඉල්ලීමක්

කල්තොට-බුදුගල සෝමරතන හිමි

බළන්ගොඩ, කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ක්‍රිස්තු පූර්ව 02 හා 01  සියවස් වලට අයත් යැයි සැලකෙන මැදබැද්ද ඓතිහාසික ‍වෙහෙරගල කඳු රක්ෂිතය පුරාවිද්‍යා භූමියක් ලෙස සංරක්ෂණය කර දෙන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

ඒ පිළිබඳ අදහස් දැක්වූ මැදබැද්ද තරුණ බෞද්ධ සංගමයේ සභාපති ඒ.ඩබ්. ජේ.අමරවිර මහතා-  වෙහෙරගල කියන්නේ එදා රෝහණ රාජධානියට අයත් වූ බෞද්ධ පූජනීය ස්ථානයක්. ඒ වගේම ඓතිහාසික කූරගල, බුදුගල ආදී පුරාවිද්‍යා ස්ථානවලට  සමකාලීන තැනක්. මෙහි මහරහතන් වහන්සේලා වැඩ සිටි කටාරම් කෙටූ ගල් ලෙනක්, ඒ වගේම එම ලෙනෙහි සෙල් ලිපියක්, චෛත්‍යයක නටබුන්, කිසිදා වතුර නොසිදෙන ගලේම පිහිටි පොකුණු දෙකක්, දක්නට ලැබෙනවා. ඉපැරණි චෛත්‍යයක නටබුන් තියෙන නිසාමයි  මේ කන්දට වෙහෙරගල කන්ද කියලා කියන්නේ. මේ ස්ථානයට පුරාවිද්‍යාඥයන්ගේ සැලකිය යුතු අවධානයක් යොමුවෙලා නැහැ.ඒ වගේම සංරක්ෂණ කටයුත්තක් තාම සිදු වෙලා නැහැ. මේ ස්ථානය සංරක්ෂණය කළොත් අපේ ප්‍රදේශයට තවත් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්.

වෙහෙරගල කන්ද පාමුල ජීවත් වන වයි.එම්. උළුගල බණ්ඩාර මහතා-   මේ ඓතිහාසික නටබුන් තිබෙන කඳුගැටය කැලයට යටවෙලා තිබුණ වෙලාවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා  මධ්‍යම සංස්කෘතික අරමුදලට ලිඛිතව අපි දැනුවත් දුන්නා. ඉන්පසු  රත්නපුර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් 2019 අවුරුද්දෙ ඇවිත්  ඇති පුරාවිද්‍යා නටබුන් දැක බලාගෙන ගල්ලෙනේ ඉහළින් තිබෙන සෙල් ලිපිය පිටපත් කළා. එහි තිබෙන්නේ “පරුමක පුත ලෙන” යනුවෙන් බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ කටයුතු වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපි ස්තුතිවන්ත වෙනවා.  මෙහි කැලේ ඇතුළට යන කොට තවත් පුරාවිද්‍යාත්මක නටබුන් තිබෙන බව ප්‍රදේශවාසීන් කියනවා. ඒ වගේම  ඈත අතීතයට අයත් ඉපැරණි චිත්‍ර මේ ලෙනෙහි දක්නට ලැබෙනවා. ඒවා ඉතා ඉපැරණි වටිනාකමක් ඇති චිත්‍ර  බව එදා පැමිණි නිලධාරීන් ප්‍රකාශ කළා. දැනට මේ ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් ලෙසයි පවතින්නේ. එනිසා මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගෙන සංරක්ෂණය කොට ලාංකික ජනතාවට නිරාවරණය කළ යුතුයි.

මැදබැද්ද “මිහිකතට සවියක්” පරිසර සංවිධානයේ ගරු සභාපති  චන්දන ස්වර්ණ ස්වර්ණමාල් බණ්ඩාර මහතා- වෙහෙරගල පුරාවිද්‍යා නටබුන් සහිත භූමිය ආරක්ෂා කිරීමේ අරමුණින් අපි ගමේ තරුණ පිරිස  විදිහට එහි සෝදාපාළු වැළැක්වීම අරමුණු කරගෙන පසුගිය කාලයේ පැළ 2000ක් රෝපණය කළා. නමුත් නිදැල්ලේ හැසිරෙන හරක් මේ භූමියට ඇතුළු කිරීම නිසා අද වෙන කොට එම පැළ වලින් කොටසක් ඒ  හරක් කාලා. මේ ස්ථානයට අනවසරෙන් මිනිසුන් ඇතුළු වීමෙන් නටබුන් වලට හානියක් වෙන්න පුලුවන්.ඒ  වගේම බීඩි කොළ කඩන්නත් සතුන් දඩයම් කරන්න මිනිසුන් මේ කඳු රක්ෂිතයට ඇතුළු  වෙනවා. ඒ අතර ගිනි තැබීම් පවා සිද්ධ වෙනවා. මේවට නිලධාරින් තවම ක්‍රියාමාර්ග අරගෙන නෑ. මේ නිසා මේ වෙහෙරගල ඓතිහාසික නටබුන් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මතු පරපුරට මේ අපේ උරුමයන් දායාද කිරීම සඳහා   පුරාවිද්‍යා ස්ථානයක් ලෙස මේ වෙහෙරගල කදු රක්ෂිතය සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.