කල්තොට ලංකාවේ අලුත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙයි

කල්තොට- බුදුගල සෝමරතන හිමි

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ගණන පසුගිය 02 දින සිට 18ක් වු බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය පැවැසුවාය. එතුමිය මේ බව ප්‍රකාශ කළේ කල්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරිමේ උත්සවය අමතමිනි.
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අංක 214$28 හා 2019-10-29 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ස්ථාපිත කරන ලද බළන්ගොඩ කල්තොට නව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ, පළමු ප්‍රාදේශිය ලේකම් ලෙස ජි.ජි.නිලන්ති වීරසූරිය මහත්මිය වැඩ භාර ගැනිමේ උත්සවය පසුගියදා සෞඛ්‍ය උපදෙස්වලට අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එහිදි පළමුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට නව ප්‍රාදේශිය ලේකම්තුමියට ආශිර්වාද කළහ.මෙදින එහි පළමු ප්‍රාදේශිය මහ ලේකම් තුමිය වශයෙන් වැඩ භාර ගනු ලැබුයේ මේ දක්වා වසර පහක් පමණ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  සහකාර ප්‍රාදේශිය ලේකම් වශයෙන් කටයුතු කළ ජි.ජි.නිලන්ති වීරසූරිය මහත්මියයි.එතුමිය මිට පෙර ඇලපාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් වශයෙන්ද වසර තුනක් සේවය කොට ඇත.
ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා ජනතා ඉල්ලීමකට අනුව 2018-04-07 වන දින කල්තොට ප්‍රාදේශිය ලේකම් උප කාර්යාලය පිහිටුවීමෙන් අනතුරුව බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ එය මෙතෙක් පාලනය විය. බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම් එච්.එම්.එචි.බණ්ඩාර මහතාගේ අධික්ෂණය යටතේ සිමිත කාර්ය මණ්ඩලයක් යොදා ගෙන එහි සේවාවන් පවත්වා ගෙන යන ලදි.
රත්නපුර මොනරාගල හා බදුල්ල යන දිස්ත්‍රික් සීමා මායිමේ පිහිටි කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට මේ වන විට ග්‍රාම නිලධාරි වසම් 12 අයත් වේ.මෙහි වර්ග කිලෝමිටර් 94ක වපසරියක පවුල් 4108ක ජනගහණය 14734ක් පමණ වේ. එමෙන්ම මෙහි ඓතිහාසික කූරගල පුජා භූමිය,ගල්ටැම්යාය හා බුදුගල පුරා විද්‍යා ස්ථාන,දර්ශනීය දූවිලි ඇල්ල,දියවිනි ඇල්ල, හුණුගල් පොකුණ ආදි ඓතිහාසික හා සෞන්දර්යාත්මක ස්ථාන මෙන්ම සබරගමුවට බත සපයන කල්තොට ගොවි ජනපදයද අයත් වන්නේ කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටය.
මේ අවස්ථාවට කල්තොට ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති, වැලිපතයාය මධ්‍ය මහා විද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පති වැලිපත සාසනවංස හිමියන් ඇතුළු මහා සංඝරත්නය, බළන්ගොඩ ප්‍රාදේශිය මහ ලේකම් එච්.එම්.එච්.බණ්ඩාර මහතා, කොළොන්න ප්‍රාදේශිය මහ ලේකම් අමිල විෙජ්රත්න මහතා, කල්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩබ්.ටි.එස්.හපුගස්වත්ත මහතා, බළන්ගොඩ හා කල්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් සහභාගි වුහ.

නිලන්ති වීරසූරිය – ප්‍රාදේශීය ලේකම්

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.