කල්තොට ජනයා ජාතික පාසලක් ඉල්ලති

රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට ජාතික පාසලක් ලබා දෙන ලෙසත් ඒ සදහා ර/කල්තොට රෝහණ විද්‍යාලය නම් කරන ලෙසත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් විහාරස්ථානයන්හි මහා සංඝරත්නයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨයේ පාසල්හි විදුහල්පතිවරුත් අදාළ ජනාධිපතිතුමාට ලිඛිත සංදේශයක් යවමින් ඉල්ලා සිටිති.

ඒ අනුව ඔවුහු පහත කරුණු පිළිබද සදහන් කරති. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභ්‍යාගයේ දැක්මට අනුව සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකටම එක් ජාතික පාසලක් හෝ ඉදි කිරීම අවශ්‍යබව සඳහන් වේ. බොහෝ ප්‍රදේශවල ජාතික පාසල් ඉදි කිරීම ආරම්භ වුවත් කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට නියමිත ජාතික පාසල තාම නම් කිරීමටවත් අවස්ථාව උදා වී නො මැත.කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වෙනම භූගෝලිය පිහිටිමකට අයත් රත්නපුර දිස්ත්‍රික් අවසන් සිමාවේ මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික් වලට මායිම්ව පිහිටි දුෂ්කර ගොවි ජනපදයකි. මෙය බලංගොඩ නගරයේ සිට කි.මි.30 පමණ දුරකින් පිහිටා ඇත. මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ
මධ්‍යස්ථානය ලෙස සලකන්නේ කල්තොට ග්‍රාම සේවා වසමයි. රජයේ සියලුම ආයතන පිහිටුවීමේ දී කල්තොට ප්‍රදේශය මධ්‍යස්ථානය ලෙස තෝරා ගෙන ඇත.
ග්‍රාම සේවා වසම් 12න් යුත් තන්ජන්තැන්න, මොලමුර, කුරගල ප්‍රදේශයටත්, මැදබැද්ද, නෙළුයාය,වේළිඔය ප්‍රදේශයටත් වැලිපත, කොන්ගහමංකඩ, කළුපේඩිගම,දියවින්න ප්‍රදේශයටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානය ලෙස කල්තොට හඳුනාගෙන ඇත. නිලධාරින්ට හා සේවාලාභින්ට පහසුවෙන් කටයුතු කිරිමට හැකි වන ලෙස කල්තොට මධ්‍යස්ථානය ලෙස තෝරා ගැනීම සම්බන්ධව
කිසිවකුගේ විරෝධයක් මෙතෙක් එල්ල වී නොතිබුණි. එයට හේතුව එය සුදුසු ම ස්ථානය විමයි. මෑතක දී ස්ථාපනය කළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මෙන්ම කල්තොට ප්‍රාදේශිය රෝහල, පොලිසිය, රාජ්‍ය බැංකු, ගොවිජන සේවා මධ්‍යස්ථානය, වාරිමාර්ග කාර්යාලය, විදුලිබල මණ්ඩලය, පශු වෛද්‍ය කාර්යාලය, ඉන්ධන පිරවුම්හල, වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කෘෂි කර්ම කාර්යාලය, ආදි සියල්ල කල්තොට පිහිටා ඇත්තේ කාගේත් යහපත සඳහාය.
එසේ ම පාසල් පද්ධතිය ගැන අවධානය යොමු කිරීමේ දි විභාග දෙපාර්තමේන්තුවේ විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථානය, ප්‍රකාශන
දෙපාර්තමේන්තුවේ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානය, කලාප අධ්‍යාපන කාර්යාලයේ කොට්ඨාස තරග, සම්මන්ත්‍රණ ආදි විශේෂ අවස්ථාවල දී මධ්‍යස්ථානය ලෙස තෝරාගෙන ඇත්තේ කල්තොට පිහිටි රෝහණ විද්‍යාලයයි.එමෙන්ම ලංකාවේ පලමු යුටියුබ් පාසල ආරම්භ කොට මේ දක්වාම පවත්වාගෙන යන්නේ ද මෙම රෝහණ විද්‍යාලයයි.

නමුත් ළමුන්ගේ අධ්‍යාපනය ගැන තීරණ ගැනීමේ දි කල්තොට මධ්‍යස්ථානය අමතක කොට වෙනත් ස්ථානයක් ගැන අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරින්ගේ අවධානය යොමු වී ඇත. නිලධාරින්ගේ පහසුව සඳහා කල්තොට මධ්‍යස්ථානය ලෙස තෝරා ගත්ත ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී මධ්‍යස්ථානය ලෙස කල්තොට තෝරා නො ගැනීමට හේතුව නො තේරේ. එක සාධකයක් මත පමණක් පිහිටා අනෙක් සියල්ල අමතක කිරීම දරුවන්ට කරන මහත් අසාධාරණයකි.
රජයේ ඉඩම් , විදුලිය, ජලය, දුරකතන හා අන්තර්ජාල පහසුකම් ඇති ආසන්න ප්‍රධාන නගරවලට ළඟා විය හැකි ප්‍රධාන මාර්ග ඇති රජයේ සියලු කාර්යාල පිහිටි කල්තොට, ජාතික පාසලක් පිහිටු වීම සඳහා ඉතාම සුදුසුම ස්ථානය ලෙස පෙන්වා දෙති. පසුගිය කාලයේ ගත් අපරික්ෂාකාරි තීරණයක් නිසා යම් පාසලක් විශේෂ පාසලක් ලෙස දියුණු කිරීමට උත්සාහ ගත්ත ද භූ ගෝලිය පිහිටීම අනුව එහි
සැළකිය යුතු සංවර්ධනයක් නො වීය. අදටත් පෙර තිබු තත්වයේම පවති. නිලධාරින්ට මෙය නො වැටහීම අවාසනාවකි.

ඔබගේ කාරුණික විචාරශිලි අවධානය මෙයට යොමු කරනු මැනවි. කල්තොට රෝහණ විද්‍යාලය ජාතික පාසලක් ලෙස නම් කිරීමට ඉල්ලා සිටින්නේ පුද්ගලික වාසියක් සඳහා නොවේ. අප මේ ප්‍රදේශයේ ඉපදුණ හැදුණ වැඩුණ අය නිසා අපට විය යුතු දේ දැනෙන හෙයිනි. ඔබ අද ගන්නා තීරණය අනාගත දරුවන්ට සාපයක් නො විය යුතු ය. ශිෂ්‍යයන් අඩු වීම එකම හේතුව ලෙස සලකා අනාගත දරුවන් වැඩි පිරිසකට ලැබිය යුතු වරප්‍රසාද අහිමි නො කරනු මැනවි. ශිෂ්‍යයන් අඩු වීමට හේතුව ද අතීතයේ බලධරයන් ගත් අවිචාරශිලි තීරණයන් බව කවුරුත් දනිති.
අතීතයේ සිදු වූ වැරදි දැන දැනත් වර්තමානයේද සිදු නො විය යුතු ය. කල්තොට ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේත් ඒකමතික තීරණය වී ඇත්තේ කල්තොට රෝහණ විද්‍යාලය ජාතික පාසලක් ලෙස සංවර්ධනය කළ යුතු බවයි. ඒ සදහා අදාළ බලධාරිනගේ අවධානය යොමු කරන ලෙස ද මහාසංඝරත්නය හා විදුහල්පතිවරු කාරුණිකව ඉල්ලා සිටිති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *