කනිෂ්ඨ සේවකයා හෙද පාලිකාවට පහර දෙයි. බලංගොඩ රෝහලේ වර්ජනයක්.

බලංගොඩ මූලික රෝහලේ සේවය කරන කනිෂ්ඨ සේවකයෙකු හෙද සොයුරියකට පහර දී ඇති අතර සිද්ධිය සමථයකට පත් කිරීමට පැමිණි හෙද පාලිකාවටද පහර දී ඇතැයි වාර්තා වේ. පහරදීමට ගොදුරු වූ හෙද පාලිකාව රෝහල් ගත කර ඇති අතර සිද්ධියට විරෝධය දක්වමින් මේ වනවිට සමස්ත හෙද කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වේ.

දිවයින පුරා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් උද්ගතව තිබියදී මෙවැනි සිදුවීමක් නිසා වර්ජනයක් දියත් වීම ඉතා බරපතල ලෙස සළකා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කළ බව රෝහල් සංවර්ධන කමිටුවේ ප්‍රකාශකයෙකු අප හා පැවසීය. සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ හෙද කාර්ය මණ්ඩලයේ නියෝජිතයා සඳහන් කළේ රෝහල් පරිපාලනය මේ පිළිබඳව සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා තෙක් වර්ජනයේ නිරත වන බවයි. එසේම අදාල කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයා වර්ථමාන වෛද්‍ය අධිකාරිවරිය පත්වීමට පෙර පැවති පරිපාලනය සමයේ අනිසි බලයක් ආරෝපනය කර ගනිමින් හැසිරුණු බවද ඒ අතිශය පෞද්ගලික සම්බන්ධතාවක් නිසා බවද ඔහු සඳහන් කළේය. කෙසේවෙතත්, තමතමන්ගේ පෞද්ගලික ලැදියාවන් සහ සම්බන්ධකම් අතිශය සංවේදී මහජන සේවාවක් සපයන ආයතනයක පරිපාලනයට බලපාන ලෙස පවත්වා ගෙන යාමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දුන් බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඉරේෂා පතිරගේ පැවසුවේ, අදාල කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයාට එරෙහිව විනය පියවර ගැනීමට සිදුවන බවත් ඉහළ බලධාරීන්ට සිදුවීම සම්බන්ධව දැනුම් දී ඇති බවත් ය. කොවිඩ් ව්‍යසන සමයේ මෙවැනි තත්ත්වයක් උද්ගතවීම රෝහල් කටයුතුවලට බාධාවක් නොවේදැයි ejournalist විමසූ විට ඇය සඳහන් කළේ සියලු හදිසි ප්‍රතිකාර හා සත්කාරක සේවා පවත්වා ගෙනයාමට කටයුතු යොදා ඇති බවයි. එසේම හදිසි අවස්ථාවලදී රාජකාරි ඉටු කිරීමට හෙද කාර්ය මණ්ඩලය පොරොන්දු වී ඇති බවද ඇය පැවසුවාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *