කන්දකාඩු පොකුර ගැන බිය විය යුතු නැහැ – අනිල් ජාසිංහ

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා කන්දකාඩු වල ස්ථාපිතකර තිබෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මතුවූ කොවිඩ්-19 පොකුර නාවික හමුදාවේ තරම් විශාල එක්ක නොවන බැවින් එය දීර්ඝකාලයක් නොපවතිනු ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම කොවිඩ්-19 ආසාධිත පොකුර කෙටි කලකින් අවසන් කරගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් පිටතට රෝගය පැතිරීම වැලැක්වීමට සෞඛ්‍ය අංශ, යුද හමුදාව හා බුද්ධි අංශ පියවර ගනිමින් සිටින බවත් ඒ මහතා කීය.මහනුවර ජාතික රෝහලේ පැවැති උත්සවයකින් අනතුරුව පෙරේදා (10) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජාසිංහ මහතා මේ බව කීවේය.

නාවික සෙබළුන් අතර කොවිඩ්-19 ව්‍යාප්තිය සිදුවූයේ ක්‍රමිකව වුවත් කන්දකාඩුහිදී ඊට පරස්පර තත්ත්වයක් දක්නට ලැබුණු බවත් එහි සිටි නේවාසිකයින් 479 දෙනා අතරින් 339 දෙනෙකුට රෝගය වැළඳී තිබෙන බව 10 වැනිදා වන විට වාර්තාවී තිබුණු බවත් කී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තත්ත්වය තුළ අදාළ පොකුර කෙටි කාලයකින් අවසන් වෙතැයි අනුමාන කළ හැකි බවද අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිට මෙම මධ්‍යස්ථානයේ ගතකළ ඇතැම් තරුණයින් නිවෙස්ගත කර සිටින බවත් ආසන්න දිනවල එලෙස නිවෙස්වලට යොමුකළ තරුණයින් යළි කැඳවීමට පියවර ගෙන තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.මෙලෙස කැඳවන සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කර නිරෝධායනයට යොමුකරන බවත් නිවාඩු ගොස් තිබෙන සේවකයින්ද මෙම ක්‍රියාවලියට යටත් කරන බවත් ඒ මහතා කීය.

කන්දාකාඩුවේ සිට නිවෙස්වලට ගොස් සිටින තරුණයින් යළි කැඳවීම නිසා එම ප්‍රදේශවල ජනතාව ඔවුන්ට කොවිඩ්-19 ආසාධනය වී ඇතැයි අනිසි බියක් ඇතිකර ගතයුතු නොමැති බවත් මෙය සිදු කරන්නේ පවතින සැකය දුරුකර ගැනීමට බවත් කී ඒ මහතා මෙය සිදුවන්නේ වසංගතවේදයට අනුව බවද අවධාරණය කළේය.කන්දකාඩු සිද්ධිය නිසා ප්‍රදේශ හුදෙකලා කිරීමක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හඳුනාගත් රෝගීන්ට එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබාදීම දැනට පවතින සුදුසුම දේ බවත් ජාසිංහ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *