ඔන්ලයින් ක්‍රමයට අපි විරුද්ධයි – සුරා බලපත්‍රලාභීන්

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අළෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තුමේන්තුව උත්සහය කරන්නේ සුරාබදු ආඥාපනතට පටහැනිව බවත් එය ක්‍රියාත්මක කළහොත් එම ආඥාපනත පමණක් නොව රටේ තවත් නීති ගණනාවක් උල්ලංඝනය වන බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා පවසයි.

සුරාබදු නිලධාරීන් නීතියට පටහැනිව ගන්නා මෙවැනි තීන්දු නිසා රජයද දැඩි අපහසුතාවට පත්වන බවත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවා තිබියදී මෙවැනි යෝජනා ගෙන ඒම පවා පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවත් ඒ මහතා කීය.

මහනුවරදී අද (17) මාධ්‍ය හමුවක් පවත්වමින් උඩුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අළෙවි කිරීම සුරාබදු දෙපාර්තුමේන්තුවේ අවසරය මත කොළඹ කේන්ද්‍රීයව 2020 වසරේ සිට ක්‍රියාත්මක වූ බවත් මෙයට විරෝධය දක්වා තම සංගමය මගින් එම වසරේ අගෝස්තු මස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එන්තරවාසියක් යොමු කළත් මේ වනතුරු එයට පිළිතුරක් නොමැති බවත් ඒ මහතා පැවසුවේය.

සුරාබදු බලපත්‍රයක් ලබා ගන්නා අවස්ථාවේ මත්පැන් අළෙවියේදී අනුගමනය කළ යුතු කොන්දේසි මාලාවකට යටත්ව සියලුම බලපත්‍ර ලාභීන් ගිවිසුුමකට අත්සන් කරන බවත් වයස අවුරුදු 21 ට අඩු අයට මත්පැන් අළෙවි නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් එහි අඩංගු බවත් කී උඩුගම මහතා ඔන්ලයින් ක්‍රමය මගින් මත්පැන් අළෙවි කිරීමේදී මෙම කොන්දේසි සියල්ල උල්ලංඝනය වන බවද අවධාරණය කළේය.

ඔන්ලයින් ක්‍රමය මගින් මත්පැන් මිලට ගැනීමේ හැකියාව මෙරට බොහෝ පිරිසකට නොමැති බවත් මත්පැන් අළෙවි සැල් වසා තිබියදී වැඩි මිලට මත්පැන් අළෙවි කිරීමේ ජවාරම්කරුවන්ට මෙය වෙස්වලාගත් ආශිර්වාදයක් වනු ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේවන විට ආදායම් මාර්ග අවහිර වී මෙරට වැඩි පිරිසක් දුෂ්කර ජීවිත ගතකරන බවත් එවැනි පසුබිමක ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නිවසටම මත්පැන් ගෙන්වා ගැනීමේ පහසුකම් ඇති කිරීම පවුල් ආරවුල් හා ගැටුම් වර්ධනය වීමට හේතුවක් වනු ඇති බවත් ඒ මහතා කීය.

මේ මොහොතේ අපගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම බවත් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අළෙවි කිරීම එයට බාධාවක් විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන බවත් කී සභාපතිවරයා මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන මේ සඳහා අනුමැතිය ලබාදීමෙන් වලකින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයින් වන චාමර ඔබේසේකර,ධනංජය ගුණසේකර , තංගවේලු ධර්මේන්ද්‍රරාජ් යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.