ඔක්සිජන් ප්‍රතිශතය අවමව තිබූ කොවිඩ් රෝගියාට සුසුම්නාවේ සාර්ථක සැත්කමක්

ගසකින් ඇද වැටී සුසුම්නාවට බරපතල හානි සිදුව තිබූ කොවිඩ් ආසාදිත හැට හැවිරිදි පුද්ගලයෙකුගේ ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ බැස සිහි නැති කිරීමට නොහැකි මට්ටමේ දැඩි අවධානමක් තිබියදී සාර්ථකව අදාළ පුද්ගලයාට සැත්කමක් සිදු කිරීමට මහනුවර ජාතික රෝහලේ විකාලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.

පැය තුනක පමණ කාලයක් ගතව තිබෙන මෙම සැත්කමට විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.  ඉණිමගක ආධාරයෙන් කොස් ගෙඩියක් කැඩිමට ගොස් ඉන් ඇද වැටී සුසුම්නාවට බරපතල හානි සිදුව කෑගල්ල රෝහලට ඇතුළත් කළ හැට හැවිරිදි පුද්ගලයෙකු මෙම සැත්කමට ලක්ව තිබේ.

අදාළ පුද්ගලයා මහනුවර ජාතික රෝහලට මාරුකර එවන විට ඔහුගේ පාද අප්‍රාණික තත්ත්වයට පත්වෙමින් තිබූ බවත් මේ නිසා සැත්කමක් සිදු කිරීම අත්‍යවශ්‍යය කාරණයක් වූ බවත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා කීය.

මෙම දිනවල කොවිඩ් අවදානම තිබෙන බැවින් සැත්කමකට භාජනය කිරීමට ප්‍රථම සෑම රෝගියෙකුම ප්‍රථමයෙන් ඇන්ටිජන් පරීක්ෂණයකටත් එහි ප්‍රතිපල අනුව කොවිඩ් ආසාදිත බව තහවුරු වුවහොත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන බවත් කී උඩගෙදර මහතා අදාළ රෝගියාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ දෙකෙන්ම තහවුරු වූ බවද ප්‍රකාශ කළේය.

සාමාන්‍යය තත්ත්වයේ පසුවන රෝගියෙකුට සුසුම්නාවේ සැත්කමක් කිරීම එතරම් විශේෂ කාරණයක් නොවන නමුත් මෙම රෝගීයාට කොවිඩ් ආසාදනය වී තිබීමත් සමඟ ඔහුගේ ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය 80% ක් පමණ දක්වා පහත බැස තිබියදී නිර්වින්දනය කර සැත්කම සිදු කිරීම අති විශේෂ කාරණයක් බව ඒ මහතා කීය.

එවැනි මට්ටමකට ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුව තිබියදී සාමාන්‍යයෙන් මේ ආකාර සැත්කමක් සිදු නොකරන බවද හෙතෙම අවධාරණය කළේය.

ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර

පසුගිය 07 දින සැත්කමට භාජනය කරන ලද මෙම පුද්ගලයා මේවන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය මේවන විට සාමාන්‍යය අතට පත්වෙමින් තිබෙන බව උඩගෙදර මහතා පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *