එ.ජා.ප.ය අනාථ මඩමක්. ඡන්ද නඩුව පැරදුණාට අපි දිනුම් – සුජීව සේනසිංහ

එක්සත් ජාතික පක්ෂය අද අනාථ මඩමක් බවට පත්ව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස පක්ෂයට සිදුකරමින් සිටින විනාශය මියගොස් සිටින පැරණි නායකයින් පුදුමයෙන් බලාසිටිනු ඇති බවත් සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් සුජීව සේනසිංහ මහතා පවසයි. මෙවර මහ මැතිවරණයට එජාපයෙන් තරඟ කරන බහුතරයක් පක්ෂයේ ක්‍රියාකාරීව නොසිටි දේශපාලනය නොදන්නා, ව්‍යාපාර කළ අය බවද ඒ මහතා කීය. මහනුවර හන්තානේ පිහිටි නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනසිංහ මහතා මේබව ප්‍රකාශ කළේය.
සමඟි ජනබලවේගය බිහිවූයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය මත බවත් එජාපයේ නියෝජ්‍ය නායකයා තවමත් සජිත් ප්‍රේමදාස මහතා බවත් හෙතෙම කීය. ජනතා ප්‍රශ්න ගැන හැඟීමක් නොමැතිව ව්‍යාපාර ගැන පමණක් හිතන හා තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් පක්ෂ මාරුකරන පිරිසක් අද රනිල් වික්‍රමසිංහ මහතා වටා ඉතිරි වෙත්දී ජනතාව සමඟ දේශපාලනය කළ පිරිසිදු කොටස සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සිටින බවද ඒ මහතා පැවසුවේය.
එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ යුතුයි කියා පැවසූ නවීන් දිසානායක මහතා අද රනිල් රකින්න උත්සාහ කරන බවත් පාට මාරු කරන සතුන් මෙන් පාට මාරු කරන දේශපාලනඥයින්ද ඉන්නා බවත් සේනසිංහ මහතා කීවේය.
ඇමරිකානු පුරවැසියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර් පරීක්ෂණයකට ලක්නොවී එය ප්‍රතික්ෂේපකර පිටව යෑම බරපතල තත්ත්වයක් බවත් ආණ්ඩුව පුද්ගල තරාතිරම නොබලා සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා මෙහිදී පැවසුවේය. මහ මැතිවරණය ජූනි 20 දින පැවැත්වීම සුදුසු නොවන බව සමඟි ජනබලවේගයේ ස්ථාවරයවූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් සියල්ල ඉවත දැම්මද මැතිවරණය පවත්වන දිනය අගෝස්තු දක්වා කල්යෑමෙන් තම කණ්ඩායම ජයග්‍රහණයක් ලබා තිබෙන බවත් හෙතෙම කීය. ආණ්ඩුව උත්සාහ කළේ සෞඛ්‍ය අංශ වලට බලපෑම් කරමින් තමන්ට වාසිලෙස වාර්තා සකස් කරමින් මැතිවරණය කල් නොදමා ජූනි මස 20 වැනි දිනම පවත්වා ගැනීමට බවත් ආණ්ඩුවේ එම අපේක්ෂා අද බිඳ වැටී තිබෙන බවත් ඒ මහතා පැවසුවේය.