එ.ජා.පය කන වේයන් ගැන මල්වත්තේදී රවී කියයි.

 එ.ජා.පය කන වේයන් ගැන මල්වත්තේදී රවී කියයි.


ආසන නොදිනා කයිවාරු ගහන අය නිසා එජාපයේ ප්‍රශ්න ඇතිවන බව එහි උපනායක රවී කරුණානායක මහතා පවසයි. සජිත්ට ජනපතිවරණයේදී අවස්ථාවක් ලබාදුන් බවත් පක්ෂය දිනවීමට නම් රනිල්,කරූ.සජිත් හා තමන් එකට එකතුවී ගමනක් යායුතුව තිබෙන බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඊයේ(28) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය. මල්වතු අස්ගිරි උභය මහ විහාර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක මන්ත්‍රීවරයා ආශිර්වාද ලබා ගත්තේය.
සජිත් ගම අතහැර කොළඹ පැමිණෙන බවට රාවයක් පැතිරෙන බව මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා  “එතකොට ගමට යන්නේ මම දැ”යි ඇසුවේය.
බැඳුම්කර සිද්ධියේදී හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය  හා මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට ප්‍රශ්නයක් ඇති කළ බවත් එම අවස්ථාවේ මංගල, මලික්, කබීර්, හර්ෂ, සුජීව, එරාන් වැනි අය තමන් මත වරද පටවා ඔවුන්ගේ දේශපාලනය කරන්නට උත්සාහ කළ බවත් කී මන්ත්‍රීවරයා එසේ වුවත් සියල්ලන් සමඟ එකට එකතුවී පක්ෂය ගොඩ නැගීමට තමන් සූදානම් බවද කරුණානායක මහතා කීය.
රංජන්ගේ හඬ පට සිදුවීමත් සමඟ දේශපාලනඥයින් පිළිබඳව ජනතාව තුළ පැවැති විශ්වාසය  බිඳ වැටී තිබෙන බවත් ප්‍රශ්න ඇති කළ අය සුද්ද කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.
පොහොර නොමිලේ ලබාදීම, හාල් රුපියල් 90.00 ට ලබා දීම, උසස් පෙළ සමත් සියලු දෙනාට විශ්ව විද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම, රජයේ සේවක වැටුප් රුපියල් 2500.00 කින් ඉහළ දැමීම ඇතුළු ජනපතිවරණයේදී ආණ්ඩුව ලබාදුන් පොරොන්දු  කිසිවක් ඉටුවී නොමැති බවත් මේ නිසා ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ කලකිරීමක් ඇතිව තිබෙන බවත් ඒ මහතා කීය.
ජනපතිවරණයේදී ප්‍රකාශ කළ පරිදි ආණ්ඩුව එම්.සී.සී ගිවිසුම ඉරා දමා හම්බන්තොට වරාය යළි පවරා ගන්නා තුරු එජාපය බලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ අතර තමන් වහන්සේ බැහැ දුටු රවී කරුණානායක මන්ත්‍රීවරයාට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියෝ පැවසූවේ බල ලෝභීත්වයෙන් ඇතැම් අය කටයුතු කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය විනාශ වෙමින් තිබෙන බවයි. එක්සත් ජාතික පක්ෂය දීර්ඝ ඉතිහාසයක් ඇති ප්‍රබල පක්ෂයක් බවත් එවැනි පක්ෂ රටට අවශ්‍ය බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. බල ලෝභීත්වයෙන් ඇතැම් පිරිස් කටයුතු කරන්නට යාමෙන් සිදු වන්නේ පක්ෂය දෙකඩ වීම බවත් අද එම තත්ත්වය එජාපය තුළ දක්නට ලැබෙන බවත් විමලධම්ම නාහිමියෝ පැවසූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *