එළවලු මිළ දැන්ම පහළ යන්නේ නැහැ – මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ

පොහොර හා පළිබෝධ නාශක නොමැති නිසා පළිබෝධ හානියක් ඇති වුවහොත් සියල්ල අපතේ යාවි යැයි බියෙන් ඇතැම් එළවළු ගොවීන් අස්වැන්න නියමිත කාලයට පෙර ගලවා තිබෙන බවත් මේ නිසා ඉදිරියේදී එළවළු මිලේ සැලකිය යුතු පහළ යෑමක් අපේක්ෂා කළ නොහැකි බවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ එච්.එම්.ආර් බණ්ඩාර මහතා කීය.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයින්ගේ කාබනික භෝග නිෂ්පාදන  යුරෝපීය වෙළෙඳ පොළට යොමු කිරීම සම්බන්ධව ජත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ ජර්මානු නියෝජිතායතනයේ මෙහෙය වීමෙන් මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බණ්ඩාර මහතා මේ බව කීවේය.

එච්.එම්.ආර් බණ්ඩාර මහතා

වැස්ස පැවතීමත් රසායනික පොහොර නොමැති වීමත් හේතුවෙන් තවත් ගොවීන් වගා කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද කර තිබුණු බව අප කළ පරීක්ෂණයකදී හෙළි වුණා. කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ ක්‍රමවේදයට යොමු වීම සිදු වුණේ ක්ෂණිකවයි. ඒ නිසා ගොවීන්ට ඒ සඳහා සූදානම් වීමට නොහැකි වුණා. මේ නිසා මධ්‍යම පළාතේ අපේක්ෂිත වගා අස්වනු මෙවර අඩු වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ඔක්තෝම්බර්,නොවැම්බර්,දෙසැම්බර්,ජනවාරි කියන්නේ සාමාන්‍යයෙන් එළවළු මිල ඉහළ යන කාලයක්.

මධ්‍යම පළාතේ වර්ග කිලෝ මීටර 3871 ක පමණ වගා කළ හැකි කෘෂිකාර්මික ඉඩම් තිබෙනවා.මින් 2578 ක  පමණ  වගා කටයුතු සිදු කරනවා. සාමාන්‍යයෙන් ඒක සමස්ත වගා භූමි ප්‍රමාණයෙන් 66% ක්.පළාතේ තේ වගාව තමයි වැඩිපුර තිබෙන්නේ. හෙක්ටයාර් 81000 ක විතර තේ වගා කෙරෙනවා.

වී වගා කෙරෙන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 43000 ක්. අපනයන කෘෂිකර්ම බෝග වගා භූමි හෙක්ටයාර් 25000 ක් විතර මහනුවර,මාතලේ හා නුවරඑළියේ තිබෙනවා. එළවළු හෙක්ටයාර් 18000 ක් පලතුරු හෙක්ටයාර් 10000 ක් වගේ අපට තිබෙනවා. ලංකාවේ වැඩිම එළවළු නිෂ්පාදනයක් සිදු කරන්නේ මධ්‍යම පළාතේ. අර්තාපල් වගාවෙන් පළමු තැන ඉන්නේ බදුල්ල. අපි වාර්ෂිකව හෙක්ටයාර් 2000 ක් විතර වගා කරමින්  අර්තාපල් නිෂ්පාදනයෙන් පළාතක් ලෙස දෙවන ස්ථානයේ පසු වෙනවා. වී මෙට්‍රික් ටොන් 180000 ක් පමණ නිෂ්පාදනය කරනවා. එළවළු මෙට්‍රින් ටොන් 310000 ක් වගේම මුං,කවුපි,බඩඉරිගු කුරක්කන් මෙට්‍රික් ටොන් 45000 ක් පමණ මේ දිස්ත්‍රික්ක තුනේ වගා කරනවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.