එක මාත්‍රාවක් විතරක් එපා නම් අකැමැති වීමේ අයිතිය ජනතාව සතුයි – නාමල් රාජපක්ෂ

කොවිඩ් මර්දන එන්නත ලබාදිය යුත්තේ එක් මාත්‍රාවක්ද දෙකක්ද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ මිස ආණ්ඩුව නොවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එක් මාත්‍රාවක් පමණක් ලබාදීමෙන් අවශ්‍යය ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙන බවට සෞඛ්‍ය අංශ තීරණය කරනු ලබන බවත් එක් මාත්‍රාවක් ලබා ගැනීමට අකමැති නම් එය ප්‍රතික්ෂේප කිරීමේ අවකාශය ජනතාවට තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර කුණ්ඩසාලේ එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට අද (01) පැමිණි අවස්ථාවේ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

ලෝකයේ තිබෙන පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූලව මෙරට එන්නත් ක්‍රියාවලිය සිදුකරන බවත් සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජනතාවට ඒ සම්බන්ධ හොඳ අවබෝධයක් ලබාදීමෙන් පසුව බවත් හෙතෙම කීවේය.

එන්නත ලබා ගැනීමට තමන්ගේ විරෝධයක් නොමැති බව දක්වා පෝරමයක් අත්සන් කර ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් ඒ සම්බන්ධ ගැටලුවක් ඇත්නම් අදාළ පුද්ගලයාට එම ස්ථානයේ සිටින නිලධාරියෙකුගෙන් ඒ සම්බන්ධව විමසා දැනගත හැකි බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ගැටලුවක් යැයි සිතෙන්නේ නම් ‌පෝරමය අත්සන් නොකර එන්නත් ලබානොගෙන සිටීමට ඔ්නෑම අයෙකුට හැකියාව තිබෙන බවද ඇමැතිවරයා කීය.

එන්නත් කරන සෞඛ්‍ය කොට්ඨාසය,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය,ග්‍රාම සේවා වසම කුමක්ද යන්න  තීරණය කරනු ලබන්නේ   සෞඛ්‍ය අංශ බවත් ආණ්ඩුවේ වගකීම අදාළ එන්නත් නියමිත වෙලාවට නියමිත ප්‍රමාණය සැපයීම හා රටේ එන්නත්කරණ වැඩපිළිවෙළ දියත් කිරීමට අවශ්‍යය පසුබිම සැකසීම බවත් ඇමැතිවරයා පැවසුවේය.

මේවන විට දළ වශයෙන්  ලක්ෂ 19 කට වැඩි ප්‍රමාණයක් පළමු හා දෙවන එන්නත  ලබාදී තිබෙන බවත් වයස අවුරුදු 30 ට වඩා වැඩි වයස් කණ්ඩය සැලකුවහොත්  ප්‍රතිශතයක් ලෙස  17 % ක පමණ පිරිසකට එන්නත් ලබාදී තිබෙන බවත් කී ඒ මහතා ලක්ෂ 12 කට වැඩි පිරිසකට පළමු මාත්‍රව ලබාදී අවසන් බවද අවධාරණය කළේය.මෙම  තොරතුරු තමන් ප්‍රකාශ කරනු ලබන්නේ මතකය අනුව නිවැරදි කිරීමට යටත්ව බවද එ් මහතා කීය.

තවත්  සති කිහිපයකින් ලක්ෂ 15 ක පමණ එන්නත් ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අවිශ්වාස කරන බවත් සෙසු  රටවල් වලට සාපේක්ෂව අපේ රටේ ඒන්නත් කරන වැඩසටහන ඉතා සාර්ථක මට්ටමක තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර,උදයන කිරිඳිගොඩ,වසනත් යාප බණ්ඩාර,තිලක් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.