උරග විංසතියක කුරුලු බිත්තර සොයන සීතා රංජනී

කවි මුට්ටිවල පතුළ කූරු ගා දේශපාලන දංකුඩ හොයන්නට වුවමනා නැති තරමට කාලික දේශපාලන යථාර්ථය විමසා බලන හා ප්‍රශ්න කරන කාව්‍ය සංග්‍රහයක් කියවීමේ දුලබ අවස්ථාව ලදිමි. කවි කියවීම හා කියවා රස විඳීම මතු නොව ඉන් කම්පනය වී සමාජ සැහැසියාවන් ප්‍රශ්න කරන්නට පෙළඹෙන තරමේ භාවෝත්පාදනය වන කෘතියක් ලෙස හැඳින්විය හැකි “උරග විසංතියක කුරුලු බිත්තර” කෘතිය නිසායි ඒ. මේ සීතා රංජනියගේ නවමු කාව්‍ය එකතුවයි.

සීතා රංජනී සමාජ අරගලවල කිසියම් භුමිකාවක නිරත වූ මාධ්‍යවේදිනියකව සිටියාය. ඇගේ ඒ භුමිකාවෙන් ලද පෝෂණය සහ පන්නරය නිසාදෝ සීතාගේ පූර්ව කෘතිවලද, පවතින සමාජ සන්දර්භය ප්‍රශ්න කරන, විමංසනයට භාජනය කරන, නිර්මාණාවේෂයක බලපෑම නිසා උත්පාද වන්නට ඇතැයි සිතිය හැකි වියමන් අඩංගු විය. මෙවර ඇය ලියා ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළ කළ කෘතිය එක්තරා අන්දමකට සීතාගේ කාව්‍යකරණයේ කූටප්‍රාප්තියකැයි කල්පනා කිරීමට කැමැත්තෙමි. කවියාගේ කාර්යභාරය සෞන්දර්ය රස නිෂ්පත්තිය යැයි මත පළ කළ හැකි වුවද දකින අසන අත්විඳින සමාජ ඛේදයන් හමුවේ හුදෙක් රොමෑන්තික කවි ලියමින් සල්ලාපවල කයිවාරු ගසන රසිකයන් පිනවීම පමණක්ම කවියාගේ කාර්යභාරයදැයි විමසිය යුතු සමයෙක සීතා කවියාගේ භූමිකාවද ප්‍රශ්න කරයි.

 

“ඒක මහ කැතම කැත වචනයක්

යුක්තිය වල් වැදෙන කොට

අවිචාරය රජ කරන කොට

දෑත් බැඳ, කට පියා

ඔහෙ බලං ඉන්න කොට”

මේ සීතා උපේක්ෂාව විනිවිද දකින අන්දමයි.

“ඒක හොඳ ලස්සන වචනයක්

තියෙන හැටියට කන කොට

තියෙන හැටියට අඳින කොට

දේසේ හැටියට වාසේ හිතමින්

ජීවිතේ රස විඳින කොට”

ඒ නිද්‍රෝපගත හිරි වට්ටන ලද සමාජයක් උපේක්ෂාව අත්විඳින හැටි සීතා දකින අන්දමයි. සීතා මෙවැනි කවියක කවි සමාජය සුලබව ස්පර්ශ නොකරන අනුභූතියක් වෙනස් ඇසකින් දකිමින් විවරණය කරන්නට උත්සාහ ගන්නා බව දැක්වීමට කදිම උදාහරණයකි ඒ. එවැනි කවි මැවෙන්නේ සීතාගේ කවිකමට වඩා පෙරට එන අරගලකාරියගේ භූමිකාව නිසාය. ඇයට සදය උපහාසයකින් සමාජය දෙස බලන්නට පුලුවන්කමක් තිබේ. ඒ උපහාසය සමාජය විසින් නිර්මිත වැරදි ගැන මිස ඒ වැරදිවලින් පීඩිත දනා ඉලක්ක කරගත්තක් නොවේ. සීතාද අනේක විඳ දුක්ඛ දෝමනස්ස මැද්දේ ගලා ආ කර්කශ දිවියක උරුමක්කාරියක් නිසා මෙවැනි සත සංවේදී මනෝභාවයන් ඈ තුළ පිළිසිඳින්නේ වන්නට ඇති.

මේ කෘතියේ තවත් කවියක ඇය විමසන්නේ “නමට මිනිහෙක් වෙලා කුමටද? නමට ගැහැනියෙක් කුමටද?” යන්නයි. සීතා එසේ අසන්නේ අපෙන්ද? ඒ ඇයට තිබූ පැණයක්දැයි සිතෙන තරමට මේ කවෙන් ස්වයං නිරූපණයක යෙදෙන බව කිවිඳිය හඳුනන උදවියට රහසක් නොවනු ඇත.

“වැරහැලිය පෙනහලු දැන්

හුස්ම ටිකටත් පොර බදී

දිරා යන කොන්දකිය මේ

වෙහෙස විඳ විඳ කෙළින් ඉන්නේ”

විදාරණය වන්නේ ඇගේ චරිතයයි. කවියෙකුට බැරිවද ස්වයං ආලේඛ්‍ය කවි ලියන්නට? වැනි පැණයකට පුලුවනැයි පිළිවදන් දෙන සීතා ඒ තුළ සියුම් භාවමය රස මවන්නේ හෘද කම්පා දෙමිනි.

සීතාගේ කවි කමේ දැක්ක හැකි වෙසෙස් ලක්ෂණයක් වන්නේ බස සුමටව ගලන්නට ඉඩ හැර තිබීමයි. දොළ දිය දහරක්ව නිසංසලේ ගලා යන බස වදනින් වදන ගැටී මතු කරන ශබ්ද රසය කදිමය. එය කවියක ජීව ගුණය නංවාලයි. මෙන්න මට දැනෙන නිදසුනක්.

“හරිම කීකරු ජාතියක් නොවැ නුඹලා

දෙන දේ දෙන හැටියෙන්ම වළඳන

ඇස් තිබුණට බකං නිලාගෙන ඉන්න

හිත තිබුණට අනාඥාවන්ටම ලෙංගතු”

මේ නිරායාස බසයි. ඇය ඔහේ ලියැවෙන්නට ඉඩ දී ඇති සෙයකි. ඉන් මතුවන රස කදිමය. ඒ උපුටනය දුන් “උපාසක ඇත්තෝ” කවිය සමාජය තියුණු ලෙස විවේචනය කරන්නේ කිවිඳියද ඒ සමාජයේම කොටසක්ව සිටිමින් සහ රාමුව තුළ සිටිමින්ම වීම වෙසෙස් කවි කම් මතුවන තැනක් ලෙස දකිමි.

“දැනෙන විට තට්ටුවක් හිත රිදෙන

පෑගෙන විට අසල්වැසියා සපත්තුවකට

උදුරා දමන විට, උන් හිටි තැනින්

අපට මොකෝ අප දසසිල් උපාසක ලෙසින්

ඇස් පියාගත් උපාසක මහත්තුරු නෝනලා”

මෙය ඇගේ කවිකමේ වෙසෙස් බවක් ලෙස මා දකින්නේ සමාජ අරගලයක නිමග්නව සිටින සීතා ස්වකීය විවේචනය විරේචනයට කවිය අවියක් කර ගන්නා බැවිනි.

උරග විංසතියක කුරුලු බිත්තර කවි එකතුවේ කවි කිහිපයක්ම ලංකාවේ ඛේදවාචි වාර්ගික අරගලයේ සහ ජනසංහාරවල ගොදුරු බවට පත් වූවන් ගැන කතා බහට වෙන්ව තිබීම මානුෂීය ප්‍රයත්නයක් ලෙස දැකීමට පුලුවන. ස්ත්‍රියක වන සීතා බොහෝ පුරුෂ කවීන් මේ ඉසව්ව මග හැර යද්දී ප්‍රගතිශීලී ආස්ථානයක සිටීම අවධානයට පාත්‍ර විය යුතුය. ලංකාවේ සාහිත්‍ය සම්මාන උළෙලවල්ද රොමෑන්තිකකරණයට ලක්ව ඇති නූඩ්ල්ස් සහ කෝපි සංදර්ශන බවට පත්ව තිබියදී සැබෑ ජන දුක කවියට නගන්නට කවීන්ට වුවමනාවක් නැති වීමේ අඩුව වර්ධනය වෙමින් තිබේ. සීතා අවදි කරන්නේ එවැනි පසුබිමක නිදි කිරමින් සිටින අපි සියල්ලෝය.

එහෙත්, සීතාගේ කවි හුදෙක් සමාජ පීඩනය පමණක් කතා කරන දුක අඹරන මැෂින් යැයි සිතීමද නොමනාය. ඇතැම් කවියක ඇය සරල සැහැල්ලු ළමිස්සියක් බවට පත් වන්නීය. “ඒ ආදරේ” කවියේ ඇය මෙසේ හුරතල් වෙයි.

“වට වන්දනාවේ ගිහින්

වට රවුම් කැරකිලා

පරංගියා කෝට්ටේ ගියා වාගේ

ඇඹරිලා, ඇදවෙලා.

ඇද බෑවේ නැතෑ

ආදරණීය ගජ බින්නයක්

ඔයා විතරයි මගේ පණ”

තවත් කවියක සීතා අනුවේදනීය කතාවක් කියන්නේ ඇයට පුරුදු නිදහසේ ගලා බසින භාෂා දිය දහර උපයෝගී කර ගනිමිනි.  සීතා හඳුනන රසිකයා ඉන් වඩා කම්පා වීමට ඉඩ ඇත.

“මගේ පුංචි තට්ටුවෙන්

ඔහුගේ නින්ද සුන්නත්දූලි වෙයි

නිදි සතාගේ ඇස් හිනාවෙයි

මේ මෙතැන තිබුණේ

පිළිකා ශෛල පිරි තනයක්

සැත්කම් පිහියකින් එය

කපා දමලා බොහොම කල්

ලස්සන තනය ඇත්තේ

මෙන්න මේ මෙතැන

දකුණු පැත්තේ”

මේ අප දන්නා හඳුනන සීතා ය. ඇයට කවි නිමිති ඕනෑ තරම් තිබේ. නිදහසේ ලියන්නට පුලුවන් තරම් බස හසුරුවන අන්දමද සීතා දනී. නමුත් ඇතැම් කවියකදී සීතාට බස ගැන අන් අයුරකින් කල්පනා කරන්නට ඉඩ තිබුණු බවද කිව යුතුය. මේ නිදහස් කවිවල බස නිදහසේ ගලන්නට ඉඩ දීම කදිම අභ්‍යාසයකි. එහෙත් කවි රමණීයත්වය මතු කිරීම සඳහා රමණීය බස් වහරක් භාවිතා කළ හැකි තැන්වලදී එසේ කිරීම කවියට සාධාරණය ඉටු කිරීමක්ද වෙයි. පෙර කැපූ නොකැපූ පයෝධර ගැන කව කවි බසකින්ද  ලියන්නට තිබුණේ ය. සීතාට එය කළ හැකි බවද සහතිකය. සිය කෘතියේ ආරම්භක කවිය “සැහැල්ලුව” කවේ මුල් පැදි පෙළ ඊට කදිම නිදසුනක් බව ඇය පසක් කරයි.

“ජනේලෙට තට්ටු කරනවා

පැණි කුරුල්ලෙක්

කුළුඳුලේ ඇස ගැටුණු

කිරිල්ලියකද සොයන්නේ,

වීදුරුව අස්සේ වහං වුණ

හිතන්නේ කොහොමද එහෙමම

තමා සේ පෙනෙන

අනෙකාද විය හැකියිනේ

අනේ ඒ

සැහැල්ලුම කුරුලු කය

නොකියාම බැරි යමක්ද වෙයි. මේ එකතුවේ අග ඇතැම් තැනක කවියක් දෙකක් යාන්ත්‍රික හා වාර්තාරූපී ස්වභාවයක් ගෙන ඇත. ඒ කිවිඳියගේ කලබලයේ හැටිය.

කෙසේ වුව උරග විංසතියක කුරුලු බිත්තරවලට විය හැකි දේ දන්නා සීතා මේ අභ්‍යාස කර ඇත්තේ සිය ජීවනාඛ්‍යානයයි. ඇය බසින් පොහොසත්ය. අත්දැකීමෙන් ඊටත් වඩා පොහොසත්ය. එබැවින් මේ කාව්‍ය එකතුවෙන් දෙන්නේ පණිවිඩයකි. “කවියෙනි, කිවිඳියෙනි උස් ආසන සිරියහන්වලින් බැහැපල්ලා, මව් බිමේ පොළව ඇවිලෙමින් තිබේ”. ඒ නුවරකලාවියේ දුහුවිල්ලෙන් මතු වූ සීතාගේ පණිවිඩයයි.

ලසන්ත ද සිල්වා

ස්තූතිය අනිද්දා පුවත්පතට 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.