උමා ඔය වන්දි පොළොන්නරුවට ගියේ කොහොමද? ජනතාව අසති.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වූවිට විපතට පත් ජනයාට වන්දි ගෙවීම සඳහා වෙන් වූ මුදල් වංචා සහගත ලෙස හිතවතුන් හා දේශපාලන එහෙයියන් අතර බෙදා ගෙන ඇතැයි තවමත් නිසි පරිදි වන්දි නොලද ජනයා පවසනවා. උමා ඔය විපතට පත් ජනයාගේ අයිතීන් සුරැකීම සඳහා වන ජන එකමුතුවේ කැඳවුම්කරු ප්‍රභාත් කුමාර පවසන්නේ මේ පිළිබඳව සොයා බැලීමට වහා ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බවයි.

ඔහු නියෝජනය කරන ජනතා එකමුතුවේ සාමාජිකයින් පවසන්නේ උමා ඔය විපතට ගොදුරු නොවූ පොළොන්නරුවේ පදිංචිකරුවන්ටද වන්දි ප්‍රදානය කර ඇති බවට තොරතුරු තමන් සතු බවයි. ඒ අතර වන්දි ප්‍රදානය සඳහා නිර්දේශ සපයන රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දුන් ඇතැම් පුද්ගලයින් මුල් අවස්ථාවේම ලක්ෂ ගණනින් වන්දි මුදල් ලබාගත් අතර බණ්ඩාරවෙල හීල්ඔය එක්තරා පුද්ගලයෙකු නිවාස තුනකටම වන්දි ලබාගෙන ඇතැයිද තවමත් යුක්තිය ඉටු නොවූ ජනයා පවසනවා. මෙසේ වන්දි ලබාගත් බොහෝ දෙනා ඒ සඳහා පෙන් වූ නිවාස හැර නොගොස් තවමත් ඒවායේ පදිංචිව සිටිනවා. විපතට පත් පුද්ගලයින් ලෙස පෙනී සිටි ඇතැම් අය විවිධ දේශපාලන පක්ෂ හා එක්ව ප්‍රාදේශීය සභාව වැනි ආයතනවලට තරඟකොට නියෝජිත ධූර දිනාගෙන ඇති බවත් පෙන්වා දෙන ප්‍රභාත් කුමාර පවසන්නේ, ඔවුන් ජනතාව රවටා ඇති බවයි. එසේම වගා හානි සඳහා කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හා එක්ව වංචා සහගත ලෙස වන්දි ලබාගෙන ඇති ඉඩම් ඒ වනවිටත් කිසිම හානියක් නොමැතිව වගා කරමින් තිබූ බවද වාර්තා වෙනවා.

මේ වනවිට උමා ඔය විපතට පත් වූවන් සඳහා ගෙවීමට වෙන් කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන අවසන් බවයි දැනගන්නට ලැබෙන්නේ. එවැනි පසුබිමක දෙවැනි, තුන්වැනි වටයන්හිදී වන්දි ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි ජනයාගේ අපේක්ෂා සුන් ව තිබෙනවා. ඔවුන් අතරින් ඇතමෙක් ජීවත්වන්නේ කුලී නිවාසවල.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *