උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට යුක්තිය ඉල්ලන පාගමන ත්රිකුණාමලයට
ත්රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
අතුරුදන් කිරීම් ඇතුළු යුද්ධය තුල වු අපරාධ වලට යුක්තිය ඉල්ලමින් නැගෙනහිර සිට උතුරට ගමන් කෙරෙන, උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන්කල පුද්ගලයන් ගේ ඥාතීන් විසින් සංවිධානය කල පා ගමන හා රථ පෙළපාලිය අද පස්වරුවේ (16) ත්රිකුණාමලයට පැමිණියේය.
මෙම පා ගමන සඳහා හින්දු කුරුක්කල්වරුන් සහ කතෝලික පියතුමන්ලා ද එක්ව සිටියහ. රථ වාහන වලින් පැමිණ පිරිස ත්රිකුණාමලය ගාන්ධි වටරවුමේ දී 2006 වසරේ ඝාතනයට ලක්වු සිසුන් අනුස්මරණය කරමින් ඉටි පහන් දල්වනු ලැබීය.
යුද්ධයට මැදිව මියගිය සිය ආදරණීයයන් ස්මරණය කරමින් හා යුද්ධයේ දී සිදුවු අපරාධ වලට යුක්තිය ඉල්ලමින් මෙම පා ගමන හා රථ පෙළපාලිය සංවිධානය කර තිබුණි. ඉකුත් 15 වැනිදා පොතුවිල් වලින් ආරම්භ කල මෙම රථ වාහන පෙළ පාලිය හා පා ගමන ලබන 18 වැනිදා වෙල්ලමුල්ලි වයික්කාල් වෙරලේ දී අවසන් කිරීමට නියමිත වේ. එහිදි උතුරු නැගෙනහිර දිස්ත්රික්ක අටක ජීවත්වන බලහත්කාරයෙන් අතුරුදන් කල පුද්ගලයන් ගේ ඥාතීහු පා ගමනින් පැමිණ හමුවීමට නියමිතය.