උග්ගල් අලුත්නුවර, කතරගම දේවාලයේ ඇසළ පෙරහැර චාරිත්‍රවලට සීමා වෙයි

පවත්නා කොවිඩ් 19 වසංගත ව්‍යසනය නිසා මෙවර බලංගොඩ, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය, චාරිත්‍ර ඉටු කිරීමට පමණක් සීමා වෙමින් මහජනයාගෙන් දුරස්ථව පැවත්වීමට සිදු විය හැකි බව එහි බස්නායක නිලමේ ජීවක ජයවර්ධන මහතා පැවසුවේය. ඒ අභිනව බස්නායක නිලමේවරයා ලෙස අද (27) පෙරවරුවේ සුබ මොහොතින් දේවාල පරිශ්‍රයේදී වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජීවක ජයවර්ධන – බස්නායක නිලමේ, උග්ගල් අලුත්නුවර, කතරගම දේවාලය

පසුගිය 18 වැනිදා පැවති නිලමේවරයා තේරීමේ අවස්ථාවේදී තමන් නිතරඟයෙන් මෙම ධූරයට පත් වූ බවද සිය අභිප්‍රාය අලුත්නුවර දේවාලයේ ශ්‍රී විභූතිය නංවාලීම බවද ජීවක ජයවර්ධන මහතා පැවසුවේය. ධූර කාලය දරන පස් වසරට අදාලව සංවර්ධන කාර්යයන් සිදුකිරීමට සැලැස්මක් පිළියෙල කර ඇති අතර එහිලා දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර සහ ශ්‍රී පාද ස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි තමන්ට මඟ පෙනුවනු ඇතැයි අපේක්ෂා කරන බවද නිලමේ වරයා පැවසීය.

අලුත්නුවර දේවාලයට අයත් සම්පත් පිළිබඳ සොයා බලා ඒවා දේවාලයට අත්පත් කරගැනීම සහ නීතියට අනුව නියමානුකූල කරගත යුතු දෑ ඇත්නම් ඒ සම්බන්ධව ක්‍රියා කිරීමත් සිය අපේක්ෂාවක් බව බස්නායක නිලමේ ජීවක ජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *