ඉස්කෝලෙ ආපු ගුරුවරු තමයි හොඳ – මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි

වසර 24 ක් විසඳීමට නොහැකිව තිබූ ගුරු වැටුප් ප්‍රශ්නයට මෙවර අය වැයෙන් විසඳුමක් ලබා දීමට රජය පියවර ගනිමින් තිබෙන අවස්ථාවේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට පාසල් වලට පැමිණි ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

රටට,ජාතියට ආදරය කරන දරු පිරිසක් බිහි කිරීමට දායකත්වය ලබාදීම ගුරුවරුන්ගේ වගකීම බවත් මෙම අවස්ථාවේ රටේ පවතින තත්ත්වය තේරුම් ගෙන කටයුතු කිරීම සැමගේ යුතුකම බවත් ඒ මහතා කීය.

මැද මහනුවර කිරිමැටිය කණිෂ්ඨ විදුහලේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ඊයේ (21) ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේය.

රට සාමාකාමීව පැවැති අවස්ථාවේ මේ ප්‍රශ්නය ඉදිරියට ගෙනවිත් විසඳුම් සෙවීමට අවස්ථාව තිබුණු බවත් එසේ නොකර කොවිඩ් නිසා ආර්ථික අතින් රට දුෂ්කරතාවට පත්ව තිබෙන මොහොතක එය කරළියට ගෙන ඒම පිළිබඳව ගැටලුවක් තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

ඔන්ලයින් පහසුකම් ලබා ගැනීමට දුරකතනයක් හෝ නොමැති දරුවන් විශාල පිරිසක් රටේ සිටින බවත් පාසල් විවෘත කිරීමෙන් පසු ගුරුවරු සමඟ එකට හිඳිමින් සියලු දරුවන්ට එක ලෙස අධ්‍යාපනය ලැබීමේ පහසුකම ලැබෙන නිසා ඊට හැකි තරම් ඉක්මනින් මඟ විවර කළ යුතුව තිබෙන වත් ආණ්ඩුකාර වරයා ප්‍රකාශ කළේය.

අයිතීන් ගැන කතා කරන විට ලක්ෂ 43 ක් පමණ වන රටේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇතැයි ඒ මහතා කීය.

මධ්‍යම පළාතේ පාසැල් 805 ක් ඊයේ (21) අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කළ බවත් ගුරුවරුන් 16 % ක් පමණත් සිසුන් 4% ක් පමණත් මෙදින පාසල් කරා පැමිණ සිටි බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා කීය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් උපාලි රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *