ඉරාකයේ ඇමරිකානු භට පිරිස්වලට ඉරාන ප්‍රහාර

ඇමරිකානු භට පිරිස් රැඳී සිටින ඉරාකයේ අයින් අල් අසාද් කඳවුර වෙත රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල වී තිබේ. ඉරානය ඊට වගකිව යුතු යැයි මේවනවිට ඇමරිකා එක්සත් ජනපදය තහවුරු කරන බව අල්ජසීරා වාර්තා කරයි. සිය පාර්ශවයෙන් ප්‍රහාර එල්ල කළ බව ඉරානයද තහවුරු කර තිබේ.
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර රැඳී සිටින විදෙස් විත්තිවාර්තා කරුවන්ට අනුව රොකට් ප්‍රහාර 13ක් එල්ල වී ඇතත් මරණ හෝ තුවාලකරුවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත. ඉරාන හමුදා ප්‍රධානී කාසිම් සොලෙයිමානි ඇමරිකානු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව සතියකට පසු මෙම රොකට් ප්‍රහාර මාලාව ඇමරිකානු භටයින් ඉලක්ක කොටගෙන එල්ල වී තිබේ. පහර දීමෙන් අනතුරුව ඉරාන රූපවාහිනිය නිවේදනය කළේ සිය රටේ විප්ලවීය හමුදාව රොකට් එල්ල කළ අතර ඇමරිකාව ඊට එකටඑක කළහොත් වඩා දරුණු පල විපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්ටගනය නිවේදනය කළේ ඉරානය පාර්ශවයෙන් තම බල ඇණි ඉලක්ක කොට ප්‍රහාර එල්ල වූ බවයි. සිය භටයින් සහ සහායක පාර්ශව ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවටද පෙන්ටගනය සපථ කරයි.
ඒ අතර පසුගියදා ඉරාක පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළේ සිය රටේ රැඳී සිටින සියලු විදෙස් භට පිරිස් ඉවත්ව යා යුතු බව සඳහන් කරමිනි. ඉරාක පාර්ලිමේන්තුවේ තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ඇමරිකාව පැවසුවේ කිසිසේත්ම සිය භටපිරිස් ඉවත් කර නොගන්නා බවයි.