ඉරණවිල කොරෝනා රෝහලේ ඇතුල් පැත්ත

 ඉරණවිල කොරෝනා රෝහලේ ඇතුල් පැත්ත

ඉරණවිල වොයිස් ඔෆ් ඇමරිකා ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය කියූ සැණින් බහුතරයකට ඇතිවන හැඟීම අමුතුවෙන් කිවයුතු නැත. මන්ද මේ පරිශ්‍රය කලක් ක්‍රියාත්මක වූයේ මුදානොගත් කලාපයක් වශයෙනි. ඊට ඇතුළුවීමට හැකියාව තිබුණේ අවසරලත් පිරිසකට පමණි. නමුත් දැන් ඒ තත්ත්වය සම්පූරණයෙන්ම වෙනස්ය. දැන් ඉරණවිල කියූ සැණින් සිහිපත් වෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් සුවපත් කිරීම වෙනුවෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලැබූ රෝහලයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි 1 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ ඉරණවිල ප්‍රදේශයේ පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගොඩනැගිලි සංකීර්ණය කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසට නවීකරණය කරනු ලැබිණ. සෞඛ්‍යය , දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේත්,  වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේත් තවත් ප්‍රභූවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා විවෘත කෙරුණු අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ එය කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 166.038ක ඉඩම් කොටසක්, “ඇමරිකන් හඬ“ (Voice of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1991 වසරේදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙනු ලැබ තිබුණි. එම බදු ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම් කොටස සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත පවරාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් 2014 වසරේ සිට මෙම පරිශ්‍රය කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබුණි. 

පළමු අදියර යටතේ රෝගීන් 40 කට ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින මෙම රෝහල් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වශයෙන් වෛද්‍ය දිමුත් පොන්වීර මහතා කටයුතු කරයි. අවශ්‍යතාව පරිදි එම පරිශ්‍රයේ පහසුකම් තවත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. මින් පෙර වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිල්ලක්ව පැවති මෙම ස්ථානය සති දෙකක් වැනි අඩු කාලයක් තුළ පූර්ණ පහසුකම්වලින් සමන්විත විශේෂඥ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළේය.

ඇඳන් 40 කින් සමන්විත කොවිඩ් – 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩිදියුණු කරන ලද මෙම හුදකලා රෝහලේ සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා රොබෝ තාක්ෂණය හා ස්යංක්‍රිය නියමුවන් රහිත වාහන සමඟින් වෛද්‍යවරුන් 14 දෙනෙකු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර නිරෝධායන ක්‍රියාවලියේදී රෝගීන් වෙන් වෙන් වශයෙන් කාමර තුළ සීමා කළ අංගයන්ගෙන් යුක්ත වූවකි.

හේමාස් පුද්ගලික සමාගම සහ ඇට්ලස් සමාගමේ අනුග්‍රහය ඇතිව රොබෝවරු සහ විශේෂ සන්නිවේදන පද්ධතියක් හරහා නවීන තාක්ෂණික උපකරණ මගින් රෝගීන්ට ඖෂධ සහ ආහාරපාන ලබා දීමට සහ රොබෝ කැමරා මගින් රෝගීන් සමඟ වෛද්‍යවරුන්ට සන්නිවේදනය කිරීමට හැකියාව ද ඇත. තවද රෝගීන් සඳහා වායු සමීකරණ පද්ධතිය නියාමනය කිරීම සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර පුද්ගලික සම්බන්ධතා සහ ආසාදන වළක්වා ගැනීමට මෙම රොබෝ තක්‍ෂණය උපකාරී වේ.

රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාව ද මෙම රොබෝ යන්ත්‍රය සතු වේ. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා රෝගීන් සමග සංවාදයේ යෙදෙමින් දුරස්ථව ඔවුන් පරික්ෂා කිරීමේ හැකියාව ද වෛද්‍යවරුන්ට හිමි වේ. ඒ අනුව සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් හට සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම වෛරසයට එරෙහි සටනට දායකත්වය ලබා දීමට මෙම රොබෝ යන්ත්‍රය උපකාරී වෙයි.

මෙම නව රෝහල පළමුවන ඉංජිනේරු සේවා බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආසිරි මුහන්දිරම්ගේ සමීප අධීක්ෂණය යටතේ අවශ්‍යතාවයට සරිලන පරිදි සමස්ත ගොඩනැගිලි සංකීර්ණය වැඩිදියුණු කර සකස් කිරීමේ කාර්යය සම්පූර්ණ කළ අතර ඒ වෙනුවෙන් යුදහමුදාවේ සෙබළුන් 130 දෙනෙකු දිවා රෑ නොබලා සේවය කළහ. මෙම රෝහල් සංකීර්ණය සනීපාරක්ෂක හා ඉවුම් පිහුම් පහසුකම්, විවේකාගාර, මුළුතැන්ගෙයි පහසුකම් සහ ආරක්ෂක පද්ධතියකින් ද සමන්විත වේ. මෙහි යටිතල පහසුකම් ඇතුළු සියලු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රැපියල් මිලියන 21ක මුදලක් වැය කර ඇති අතර මෙහි දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතුද මේවන විට ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට ඒක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ කීය. මෙහි විශේෂත්වය වන්නේ සෘණාත්මක වායු පීඩනය යටතේ වායු සමීකරණ කටයුතු සිදුකරන ලංකාවේ එකම රෝහල වීමයි. මෙය කාමරයෙන් කාමරයට හරස් දූෂණය වීම වැළැක්වීම සඳහා රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවල භාවිතා කරන හුදකලා තාක්‍ෂණයකි.එහිදී හුදකලා කාමරයට වාතය ගලා යාමට ඉඩ හැරීම සඳහා ජනනය කරන වාතාශ්‍රයක් එයට ඇතුළත් වන නමුත් කාමරයෙන් පිටතට ඒහ වාතය යළි ගමන් කරන්නේ නැත.එහිදී සැබැවින් සිදුවන්නේ වාතය ස්වභාවිකව ඉහළ පීඩනය ඇති ප්‍රදේශවලින් අඩු පීඩනය සහිත ප්‍රදේශවලට ගලායාමයි. එමගින් දූෂිත වාතය කාමරයෙන් පිටවීම වළක්වයි. ක්ෂය රෝගය, සරම්ප, චිකන්පොක්ස්, දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය, මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය, ඉන්ෆ්ලුවෙන්සා (උණ) සහ කොරෝනා වෛරස් රෝග වැනි වාතයෙන් බෝවන රෝග හුදකලා කිරීම සඳහා මෙම තාක්ෂණය භාවිතා කරයි.

“ඉරණවිල මෙම රෝහල ඉදිකිරීමට අතිගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් දැඩි අවශ්‍යතාවක් තිබුණා විශේෂයෙන්ම මීගමුවෙන් උතුරු ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් වෙනුවෙන්ම රෝහලක් ඉදිකිරීමට. ඉතාමත්ම ‌කෙටි කාලයකින් මෙවැනි රෝහල් ඉදිකිරීමට යුද්ධ හමුදාවට හැකිවුණේ අපි හැමදාම වැඩ කළේ නොහැක්කක් නොමැත කියලා ත්‍රිවිධ හමුදාව වැඩකරන නිසයි. රටේ ආරක්ෂකයා සහ ජනතාවගේ ආරක්ෂකයා අපි. ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම දේ අපි කරනවා. විශේෂයෙන්ම අපි දැක්කා පුත්තලම් දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් මෙවැනි අවශ්‍යතාවක් තිබුණා. මෙවැනි ඉතාම වටිනා ජනතාවට විශාල සේවයක් කළ හැකි රෝහලක් ඉදිකිරීමට හැකිවීම සම්බන්ධයෙන් අපි සතුටුවෙනවා යුද හමුදාව වශයෙන්.”  යැයි යුදහමුදාපතිවරයා පැවසීය.

රෝහල ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අවසානයේ දී සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා පෝෂණ අමාත්‍යවරිය විසින් මෙම රෝහල ඉදිකිරීමේදී තම ශ්‍රමය කාලය වැයකළ සියලුම දෙනාට පුද්ගලිකව සිය ස්තූතිය පුදකළ අතර යුද්ධ හමුදාධිපතිවරයා මෙම පිරිස හමුවී ස්තූතිය පළ කරන්නටත් ඔවුන්ගේ මේ කටයුත්ත අගය කරන්නටත් අමතක නොකිරීම ප්‍රශංසාවට ලක්කළ යුතුය.

එලෙස විවිධ පාර්ශව රැසක‌ගේ දායකත්වයෙන් ඉදිකළ ඉරණවිල කොරෝනා රෝගී ප්‍රතිකාර රෝහල ඉදිරියේදීත් බෝවන රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමේ රෝහලක් වශයෙන් වැඩිදියුණු කිරීමට අවශ්‍යය කටයුතු මේවන විට සූදානම් කර ඇති අතර එය රටේ අනාගතය වෙනුවෙන් සිදුකරනු ලබන දැවැන්ත ආයෝජනයක් වනු ඇත.

දිලංක ගුණතිලක

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *