ඉන්දීය කොවිඩ් අර්බුදය මුළු ලොවටම තර්ජනයකි

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

පසුගිය අප්‍රේල් අග භාගයේ ඉන්දියාව තුළ ඇරඹුණු කොවිඩ්-19 දෙවෙනි රැල්ල, තවදුරටත් මුළු මහත් ඉන්දියාව ම දරුණු ලෙස ගිලගනිමින් සිටින්නේය. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, පසුගිය මාර්තු 23 වැනි ඉරිදා වන විට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 265 ඉක්මවා ඇත්තේය. මාර්තු 23 වන විට වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ ගණන ලක්ෂ 3ට කිට්ටු වී ඇත්තේය. පසුගිය මැයි 5-8 යන දිනවල දෛනිකව හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ ගණන ලක්ෂ හතර ඉක්මවා ගිය අතර, මේ වන විට එම සංඛ්‍යාව ලක්ෂ තුනට වඩා ටිකක් අඩු වී ඇති බව වාර්තා වන්නේය. කෙසේ වුවද, දෛනික මරණ සංඛ්‍යාව තවදුරටත් 3,500 ඉක්මවා යන බව වාර්තා වන්නේය. මේ වන විට, සමස්ත ඉන්දීය සෞඛ්‍ය පද්ධතිය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින අතර, රෝහල්වල දැඩි ඇඳන් හිඟයක් පවතින්නේය. අත්‍යවශ්‍ය ඖෂධවල හා ශ්වසන උපකරණවල දැඩි හිඟයක් පවතින්නේය. ඔක්සිජන් හිඟය නිසා මියයන රෝගීන් ගණන සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර, රෝහල්වල ඉඩකඩ මදිවීම නිසා රෝගීන් මහ මඟ මියයන තත්ත්වයක් උද්ගත වීම අතිශය කනගාටුදායක වන්නේය. කොරෝනා වසංගතයට සමගාමීව, කළු දිලීර රෝගයද දැඩි ලෙස පැතිර යාම හේතුවෙන් තත්ත්වය තවත් නරක අතට හැරී ඇත්තේය.

India's neighbours race to sequence genomes as COVID surgesකෙටියෙන් කියතොත්, මේ වන විට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය අතිශය ඛේදනීය වන්නේය. සොහොන්පිටිවල දේහයන් දැල්වෙන අයුරු, ඒ දෙස බලා ඥාතීන් හඬා වැලපෙන අයුරු, රෝහලකට ඇතුළුවීමට නොහැකිව රෝගීන් අඳෝනා නගන අයුරු, රෝගීන් ඔක්සිජන් නොමැතිව ජීවිතයත් මරණයත් අතර පොරබදනා අයුරු…… මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබෙන කෙළවරක් නොමැති මෙවැනි දර්ශන, තොරතුරු හද කම්පා කරවනසුලූ වන්නේය. කොවිඩ් ආසාදිත වී මියගිය අයගේ මළසිරුරු සිය ගණනක් ගංගානම් සහ යමුනා ගංගාවල පාවෙමින් තිබුණු බව ද මාධ්‍ය වාර්තා කොට තිබුණේය. කොරෝනා ආසාදනය වී මියයන අයගේ අවසන් කටයුතු කිරීමට ආදාහනාගාරවල ඉඩක් නොමැති නිසා මෙයාකාරයට මළසිරුරු ගංගාවලට දමන බව කියැවෙන්නේය. කොවිඩ්-19 වෛරසයේ අලූත්ම රැල්ලෙන් මුළු ඉන්දියාව ම සලිත වී ඇතැයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා පවසා තිබුණේය. මීට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ද පසුගියදා මෙසේ පවසා තිබුණේය  “ඉන්දියාවේ තත්ත්වය හද කම්පා කරවනසුලූයි. එය වචනයෙන් විස්තර කරන්නට අමාරුයි. සෑම මිනිත්තු පහකටම ඉන්දියාවේ එක් කොරෝනා මරණයක් වාර්තා වෙනවා. ඉදිරියේදී එය තවත් ඉහළ යා හැකියි.”

ඉන්දියාවට මෙවැනි ඛේදනීය තත්ත්වයක් උදාවීමට බලපෑ හේතු කිහිපයක් ම තිබෙනාතර, ඉතා වේගයෙන් පැතිරෙන, දරුණු වෛරස ප්‍රභේද මීට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේය. පළමු වරට එංගලන්තයෙන් හඳුනා ගැනුණු බී.1.1.7 නමැති වෛරස ප්‍රභේදය පන්ජාබ් ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන බව විද්‍යාගාර පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේය. එමෙන්ම, පසුගිය වසර අවසානයේ ඉන්දියාවෙන් හඳුනාගත් බී.1.617 නමැති වෛරස ප්‍රභේදය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බහුලව දක්නට ලැබෙන බව අනාවරණය වී ඇත්තේය. ඉන්දියාව හැරුණු විට තවත් රටවල් 44ක පමණ හඳුනාගෙන ඇති බී.1.617 නමැති වෛරස ප්‍රභේදය ද්විත්ව විකෘතියක් පෙන්නුම් කරන බව ද කියැවෙන්නේය. එමෙන්ම, කොවිඩ් එන්නත නිෂ්පාදනයේදී ඉන්දියාව ලෝකයේ මුල්තැන ගෙන සිටියදීත්, එන්නත්කරණ ක්‍රියාවලිය වේගයෙන් දියත් කිරීමට අසමත්වීම වත්මන් තත්ත්වයට හේතු වූ තවත් සාධකයක් ලෙස සැලකෙන්නේය. මේ වනතෙක් ම එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇත්තේ සමස්ත ඉන්දීය ජනගහණයෙන් 10%කට පමණක් වන අතර, පූර්ණ එන්නත්කරණය (එනම් මාත්‍රා දෙක ම) ලබාදී ඇත්තේ සමස්ත ජනගහණයෙන් 2%ක් තරම් වූ සුළු පිරිසකටය.

කෙසේ වුවද, ඉන්දියාව තුළ එන්නත්කරණය ආරම්භවීමෙන් පසුව වසංගතය කෙරෙහි වූ ප්‍රවේශය හා ආකල්ප ලිහිල් වූ බවක් දක්නට ලැබුණේය. ඉන්දියාව තුළ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් ම පාලනය කරන ලදැයි හැඟීමක් බලධාරීන් අතර මෙන්ම ජනතාව අතරද පැතිර ගියේය. වෙනකක් තබා, කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා දූරදර්ශී නායකත්වයක් සැපයීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රශංසාව පළකරමින්, භාරතීය ජනතා පක්ෂය පසුගිය පෙබරවාරි 21 දින විශේෂ නිවේදනයක් ද නිකුත් කළේය. මෙම පසුබිම තුළ, සංචරණ සීමා ලිහිල් වූ අතර විශාල පිරිස් සහභාගී වන ආගමික උත්සව සහ දේශපාලන රැළි පැවැත්වීමට ඉඩකඩ ලැබුණේය. පසුගිය කාලය තුළ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක ම මැතිවරණ පැවැත්වුණු අතර, ඒවාට අදාළව පැවති ප්‍රචාරක රැස්වීම්වලට අති විශාල ජනකායක් රැස්ව සිටිනු දක්නට ලැබුණේය. පසුගිය අප්‍රේල් 17 දින බටහිර බෙංගාලයේ පැවති භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, “මෙතරම් විශාල ජනකායක් රැස්වීමට සහභාගී වී සිටීම ගැන අතිශයින් සතුටු වන්නේ” යැයි පවසා සිටියේය. දේශපාලන රැළිවලට සමගාමීව ආගමික උත්සවවලට ද විශාල පිරිස් රැස් වූ අතර, කුම්භ මේලා උත්සවය ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේය. හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරන පරිදි, 2021 ජනවාරි 14 සිට අප්‍රේල් 27 දක්වා වූ කාලය තුළ, කුම්භ මේලා උත්සවය වෙනුවෙන් ලක්ෂ 90කට වැඩි පිරිසක් ගංගා නදියේ ස්නානය කර ඇත්තේය. මෙබඳු පසුබිමක් තුළ, පසුගිය මාස කිහිපය පුරා ම, ඉන්දීය බහුතරය සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර නැති බව පැහැදිලි වන්නේය. මේ අනුව බලනා විට, කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් ම පාලනය කරන ලදැයි යන සාවද්‍ය මතය අනුව කටයුතු කිරීම ඉන්දියාවේ වත්මන් ඛේදනීය තත්ත්වයට තුඩුදුන් ප්‍රධාන සාධකයක් බව පැහැදිලි වන්නේය. India's COVID-19 Crisis Having Dangerous Effect on Bangladesh | Time

මේ අතර, වත්මන් කොවිඩ් අර්බුදයේ අයහපත් බලපෑම ඉන්දියාවට පමණක් සීමා නොවන බව අප පැහැදිලිව වටහා ගතයුතු වන්නේය. වත්මන් ඉන්දීය කොවිඩ් අර්බුදය මුළු ලොවට ම විශාල තර්ජනයක් බව අප වටහා ගතයුතු වන්නේය. කොවිඩ්-19 වසංගතය 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වූ අතර, 2020 ජනවාරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීය. අනතුරුව, 2020 මාර්තු මාසයේදී ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීය. මෙම ගෝලීය වසංගතය, පසුගිය වසර එකහමාරක කාලය තුළ මුළු ලෝකයට ම පුදුමාකාර ලෙස වද දුන්නද, මෙය ගෝලීය ප්‍රශ්නයක් බවත්, මුළු මානව වර්ගයාට ම එකසේ එල්ලවන තර්ජනයක් බවත් පිළිගැනීමට ඇතැම් රටවල් මැලිකමක් දක්වන බවක් පෙනෙන්නට තිබුණේය. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ අත්වැල් බැඳගෙන මෙම පොදු ගෝලීය ප්‍රශ්නයට (ගෝලීය වසංගතයට) පිළියම් සොයනු වෙනුවට, ඇතැම් රටවල් (විශේෂයෙන් සමහර බලවත් රටවල්) තනි තනිව විසඳුම් සොයන්නට ඉදිරිපත් වූ බවක් පෙනෙන්නට තිබුණේය. එහෙත්, ඉන්දියාවේ වත්මන් ඛේදනීය තත්ත්වය හරහා කොවිඩ්-19 වසංගතයේ ගෝලීය මුහුණුවර යළි තහවුරු වූ විට, බලවත් රටවල් ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් තක්කු මුක්කු වී සිටින්නේය. වත්මන් ඉන්දීය කොවිඩ් අර්බුදය මුළු ලොවට ම විශාල තර්ජනයක් බව පැහැදිලිවීමෙන් පසුව ලෝකයේ බොහෝ රටවල් සලිත වී සිටින්නේය.

පළමුකොටම, බිලියන 1.3කට වැඩි ඉන්දීය ජනගහණය සමස්ත ලෝක ජනගහණයෙන් 1/6 ක් බව අමතක නොකළයුතු වන්නේය. එබඳු විශාල ජනගහණයක් සහිත රටක කොවිඩ්-19 වෛරසය වේගයෙන් පැතිර යන විට, එය මුළු ලෝකයට ම බලවත් තර්ජනයක් බව අමුතුවෙන් කිවයුතු නැත්තේය. එබඳු විශාල රටක කොවිඩ් ආසාදිතයන් ගණන වැඩි වන විට, විකෘති වෛරස ප්‍රභේදයන් බිහිවීමේ සම්භාවිතාවය ද වැඩි වන බව විශේෂඥයෝ පෙන්වා දෙති. සෑම ආසාදිතයෙක් හරහා ම වෛරසයේ ජාන විපර්යාසයක් ඇතිවීමට, වෛරසයේ විවිධ අනුපිටපත් නැතහොත් ප්‍රභේද බිහිවීමට ඉඩකඩ විවර වන බව විශේෂඥයෝ පෙන්වා දෙති. එයාකාරයට නව වෛරස ප්‍රභේද බිහිවීම හරහා වෛරසය පැතිරීමේ වේගය ද වැඩි විය හැකි අතර, සෙසු රටවලට ද ඉක්මනින් බෝ විය හැකිය. මෑතක් වනතුරු ඉන්දියාවෙන් පමණක් හමු වූ බී.1.617 නමැති ද්විත්ව විකෘති වෛරස ප්‍රභේදය, මේ වන විට තවත් රටවල් 44කින් හමුවීම ඉහත කී විශේෂඥ මතය තහවුරු කෙරෙන සාක්ෂියක් වන්නේය. COVID: Why is India censoring media during public health crisis? | Asia| An  in-depth look at news from across the continent | DW | 27.04.2021

මේ අතර, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවලට ඉන්දීය වෛරස ප්‍රභේදය පැතිරීමේ ඉඩකඩ වැඩිය. කිලෝ මීටර් 1,770ක් පමණ වන ඉන්දීය-නේපාල දේශසීමාව හරහා, ඉන්දීය වෛරස ප්‍රභේදය නේපාලයට ඇතුළුවීමේ ඉඩකඩ වැඩි අතර, පසුගිය මැයි මුල් සතියේ සිට නේපාලයේ ද කොරෝනා ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන්නේය. මේ වන විට, නේපාලයේ මුළු කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 5 ඉක්මවා ඇති අතර, කොරෝනා ආසාදිත මරණ ගණන 6000 ඉක්මවා ඇත්තේය. මෙම ප්‍රවණතාවය වහා පාලනය නොකළහොත්, අද ඉන්දියාවේ දක්නට ලැබෙන තත්ත්වය හෙට අනිද්දා වන විට නේපාලයේ ද දක්නට ලැබෙනු ඇතැයි, රතු කුරුස සංගමයේ නේපාල ප්‍රධානී ආචාර්ය නේත්‍රා ප්‍රසාද් තිම්සීනා මහතා අනතුරු අඟවන්නේය. නේපාලයේ සමස්ත ජනගහණය මිලියන 30ක් වන අතර, ඒ අතුරින් කොවිඩ් එන්නත ලබාදී ඇත්තේ මිලියන 2.4කට පමණය. තවද, ඉන්දියාව හා සසඳන විට නේපාලයේ සෞඛ්‍ය පද්ධතිය සාපේක්ෂ වශයෙන් දුර්වල මට්ටමක පවතින්නේය. එබඳු පසුබිමක් තුළ, නේපාල රතු කුරුස සංගම් ප්‍රධානියාගේ අනතුරු ඇඟවීම සුළුකොට තැකිය නොහැක්කේය.

එයාකාරයටම, ඉන්දීය කොවිඩ් අර්බුදය ශ්‍රී  ලංකාවට ඇතිකරන බලපෑම ද සුළුකොට තැකිය නොහැක්කේය. නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දීය ජාතිකයෙකුට බී.1.617 නමැති වෛරස ප්‍රභේදය වැළඳී ඇති බව, මීට සති කිහිපයකට පෙරාතුව මාධ්‍ය වාර්තා කොට තිබුණේය. එමෙන්ම, ඉන්දියාවේ (විශේෂයෙන් තමිල්නාඩුවේ) වෙසෙන ලාංකිකයන් නීති විරෝධී ලෙස බෝට්ටු මගින් දිවයිනට පැමිණීමේ තර්ජනයක් ද ඇත්තේය. විශේෂයෙන්, ලාංකිකයන් වෙසෙන තමිල්නාඩුවේ අනාථ කඳවුරුවල පහසුකම් හීනවීම හේතුවෙන් මෙම තර්ජනය තවත් උග්‍ර විය හැක්කේය. මීට අමතරව, ලාංකික ධීවරයන් ගැඹුරු මුහුදේදී ඉන්දීය ධීවරයන් සමඟ සබඳතා පවත්වන බව ද අමතක නොකළයුතු වන්නේය.

ඉන්දීය කොවිඩ් අර්බුදයේ ජාත්‍යන්තර බලපෑම හුදෙක් වෛරසයේ විකෘති ප්‍රභේද පැතිරීමට පමණක් සීමා නොවන අතර, කොවිඩ් එන්නත් නිෂ්පාදනයට ද දැඩි අයහපත් බලපෑමක් ඇති කරන්නේය. ලෝකයේ කොවිඩ් එන්නත් අවශ්‍යතාවයෙන් 70%ක් ඉන්දියාව විසින් සපුරාලීමට නියමිත අතර, ඇස්ට්‍රා සෙනෙකා එන්නත නිෂ්පාදනය කිරීමේ අවසරය ඉන්දියාවේ සීරම් ආයතනයට ලැබී ඇත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන කොවිෂීල්ඩ් එන්නත් විශාල ප්‍රමාණයක් ලබාදීමට නියමිතව ඇත්තේය. මේ වන විට, කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා මිලියන 58ක් රටවල් 122කට බෙදා දී තිබෙන අතර, ලෝක කොවිඩ් එන්නත් අවශ්‍යතාවය සපුරාලීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන්නේය. මේ අතර, වර්තමාන කොවිඩ් අර්බුදය හමුවේ, ඉන්දියාව විසින් කොවිඩ් එන්නත් අපනයනය තාවකාලිකව නවතා දමා ඇත්තේය. වෙනකක් තබා, එන්නත් ඉල්ලූම හරහා ඇතිවන පීඩනය දරාගත නොහැකිව, සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවාලා මහතා එංගලන්තයට පැනගොස් ඇති බවක් ද වාර්තා වන්නේය. කොවිඩ් එන්නත පමණක් නොව, සමස්තයක් ලෙස ගෝලීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ද ඉන්දියාව මුල්තැනක් ගන්නේය. ජාත්‍යන්තර ඖෂධ අපනයනයෙන් 20%ක් ම ඉන්දියාව සතුය. ඒ අනුව බලනා විට, වර්තමාන කොවිඩ් අර්බුදය හමුවේ ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය බිඳවැටුණහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය පුරා දැඩි ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ ඇත්තේය. India's 161,736 new COVID cases are the world's highest | Coronavirus  pandemic News | Al Jazeera

මේ සියල්ලටම අමතරව, ඉන්දීය ආර්ථීකය විශාලත්වය අතින් ලෝකයේ පස්වැන්නා බව අමතක නොකළයුතු වන්නේය. පසුගිය වසර කිහිපය තුළ දළ වශයෙන් සියයට 4-8 අතර වර්ධන වේගයක් පෙන්නුම් කළ ඉන්දීය ආර්ථීකය, සමස්ත ලෝකයට ඇතිකරන බලපෑම කිසිසේත් සුළුකොට තැකිය නොහැක්කේය. වත්මන් කොවිඩ් අර්බුදය හමුවේ ඉන්දීය ආර්ථීකය තවදුරටත් බිඳවැටුණහොත්, ලෝකයේ බොහෝ රටවලට එය දරාගත නොහැකි වනු ඇත්තේය. ඉන්දියාව සමඟ ගනුදෙනු කරන ලෝකයේ බොහෝ රටවල් දැනටමත් වැටී සිටින අසීරු තත්ත්වය තවදුරටත් උග්‍රවනු ඇත්තේය. ඉන්දියාව සමඟ ගුවන් ගමන් තව බොහෝ කාලයකට නවතා දැමීමට සිදුවුවහොත්, එය ලෝක ආර්ථීකයට තවත් මරු පහරක් වනු ඇත්තේය.

ඉන්දියාව මුහුණ දී ඇති දරුණු අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සෙසු රටවල් ද හැකි පමණින් ආධාර උපකාර කළයුතු බව මේ අනුව පැහැදිලි වන්නේය. ඉන්දියාවට අවශ්‍ය ආධාර සැපයීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා කඩිමුඩියේ ඉදිරිපත් වූයේ මේ නිසාය. ඉන්දියාවේ පසමිතුරු රටක් ලෙස සැලකෙන පාකිස්තානයද මේ මෙහොතේ ඉන්දියාවේ සහායට ඉදිරිපත් වූයේ මේ නිසාය. තම රටේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මැයි මස මුල සිට ඉන්දියාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වූයේ ද මේ නිසාය. යටකී පරිදි, කොවිඩ්-19 වසංගතය පොදු ගෝලීය ප්‍රශ්නයක් බවත් මුළු මානව වර්ගයාට ම එකසේ එල්ලවන තර්ජනයක් බවත්, වත්මන් ඉන්දීය කොවිඩ් අර්බුදය යළිත් පෙන්වා දී ඇත්තේය. යම් රටකට තනිවම කොවිඩ්-19 වසංගතයෙන් සම්පූර්ණයෙන් මිදිය නොහැකි බවත්, ඒ සඳහා මුළු ලෝකයාගේ ම සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බවත්, වත්මන් ඉන්දීය කොවිඩ් අර්බුදය යළිත් පෙන්වා දී ඇත්තේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *