ඉන්දියාව සහ චීනය දේශ සීමා ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට එකඟ වේ.
සංවාදාත්මකව ගැටලු විසඳා ගැනීමට වීඩියෝ සාකච්ඡාවකදී දෙපාර්ශවය එකඟ වූ බව ඉන්දියාව පවසයි.
ලඩාක් ප්‍රදේශය ආසන්නයේ දෙරට හවුලේ භක්ති විඳින දේශ සීමා කලාපය සම්බන්ධ ආරවුල් සාමකාමී රාජ්‍ය තාන්ක්‍රික සාකච්ඡා මගින් විසඳා ගැනීමට කටයුතු කරන බව ඉන්දියානු විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි. මැයි මාසයේ චීන හමුදා තෙවරක් සිය භූමියට ඇතුළු වූ බවට ඉන්දියානු හමුදා චෝදනා කරන පසුබිමක එම ගැටලුව විසඳාගැනීමට දෙරටේ ඉහළම හමුදා ජනරාල්වරුන් දේශ සීමා ආසන්නයේදී හමුවීමට නියමිතව තිබියදී මෙම ප්‍රකාශය නිකුත් විය. ඉන්දියානු බලධාරීන්ට අනුව දෙපාර්ශවයම මුලින් අවධානය යොමු කරන්නේ, ඉන්දියානු හමුදාව සහ චීන මහජන විමුක්ති හමුදාව තම තමන්ගේ අතිරේක බල ඇණි සහ යුද්ධෝපකරණ මැයි මාසයට පෙර ස්ථානගව සිටි තැන් කරා නැවත කැඳවීම පිළිබඳවයි.
දෙරටේ සොල්දාදුවන් ලඩාක් හී අධි උන්නතාංශයකින් යුක්ත ගැල්වාන් නිම්නයේ කඳවුරු බැඳ සිටින අතර ආරවුලට හේතු වී ඇති දේශසීමාව උල්ලංඝනය කරන බවට එකිනෙකාට චෝදනා කරගනිති. 1962 කෙටිකාලීන නමුත් ලේ වැකි යුද්ධයට හේතු වූයේද එයයි. සමස්තයක් ගත් කළ ඉන්දියානු භූමියේ ඊසාන දෙසට ඇති වර්ග කිලෝමීටර් 90000ක බිමක් තමන්ට අයත් බව චීනය පවසයි. මෙය ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩිය. තමන්ගේ බිම් ප්‍රදේශයට අයත්, ලඩාක් ප්‍රදේශය යටතට ගැනෙන බටහිර හිමාලයේ අක්සායි චින් නිම්නයේ වර්ග කිලෝමීටර් 38000ක් චීනය පරිහරණය කරන බව ඉන්දියාවේ චෝදනාවයි. දෙරටේ ඉහළම නිලධාරීන් වීඩියෝ සාකච්ඡාවක් පවත්වමින් එකඟ වූයේ සාමකාමීව සාකච්ඡා කර තමතමන්ගේ වෙනස් අවශ්‍යතා කළමනාකරණය කිරීමට සහ ආරවුල් සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොදෙන බව යැයිද ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.
චීන – ඉන්දීය දේශසීමා ආරවුල් මිලිටරිමය ගැටුමකට මුල පිරීමක්ද? අල්ජසීරා වාර්තා වැඩසටහන
බීජිංහී සිට චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ගෙන්ග් ස්වෑන්ග් ප්‍රකාශ කළේ දැනට චීනය හා ඉන්දියාව අතර දේශසීමා සම්බන්ධ සමස්ත වාතාවරණය ස්ථාවර සහ පාලිත බවයි. රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරිමය මාර්ග ඔස්සේ සන්නිවේදනය සිදුවෙමින් තිබියදී “දෙපාර්ශවයම කාරණයට අදාල ගැටලු ඉතා හොඳින් විසඳා ගැනීමට වැඩකරමින් සිටිති” යිද සිය ප්‍රකාශකයා උපුටා දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. ඉන්දියාව හා චීනය යන දෙරටම සාමකාමී, මැදහත් සහ ස්ථාවර සබඳතා පවත්වා ගැනීමට එකඟ වීම වත්මන් ගෝලීය තත්ත්වයෙහි ස්ථාවර බව කෙරෙහිද වැදගත් වන බව ඉන්දියාව පවසයි.
පරිවර්තනය – ලසන්ත ද සිල්වා.