ඉතා දුර්ලභ කලු කොටියා මරණයෙන් ගැලවෙයිද?
ඉතා දුර්ලභ සත්ත්වයෙකු ලෙස සැලකෙන කළු කොටියෙකු නල්ලතන්නිය පොලිස් වසමට අයත් වාලමලේ කොටසේ එළවළු කොටුවක අටවා තිබූ මන්දකට අසුව සිටියදී අද(26) පෙරවරුවේ සොයාගෙන තිබේ.
හොඳින් වැඩුණු අවුරුදු අටක් පමණ වයසැති මෙම කොටියා දිගින් අඩි හයක් පමණද උසින් අඩි හතරක් පමණද වන බව වනජීවි නිලධාරීහු පවසති. පෙරවරු 8.00 ට පමණ මෙම කළු කොටියා එළවළු කොටුවේ දඟලමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක ඒ බව පොලීසියට හා වනජීවි කාර්යාලයට දැනුම් දී ඇත.
නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ලඟාවන විටත් සතා දැඟලීම නිසා අඩපණව සිට තිබේ.
සතා නිර්වින්දනය කර අල්ලා ගැනීමට පශු වෛද්‍ය කණ්ඩායමක් අද(26) දහවල් එම ස්ථානයට ළඟා වී ඇත.
මන්දට අසුවීමෙන් පසු දැඟලීම නිසා සතාගේ ශරීරයේ ස්ථාන කිහිපයක් තුවාල වී තිබෙන බව වනජීවි කාර්යාලය පවසයි. කළු කොටි මෙරට බහුලව දක්නට නොමැති බවත් රටේම ඇත්තේ එවැනි සතුන් පස් හය දෙනෙකු බවත් ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න මහතා පවසයි.