ඇස් පෙනෙන අයට නොපෙනෙන දෘෂ්‍යාබාධිතයින්ගේ COVID ගැටලු….

කොවිඩ් අවදානමත් සමඟ පාසැල් වසා දමා මේ වන විට සෑහෙන කළක් ගතව තිබේ. පසුගිය වසරේ මාර්තු මස සිට මේ දක්වා පාසැල් පවත්වා තිබෙන දින ගණන 150 කට අඩුය. නිවෙස් වලට වී සිටින දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටීම වැලැක්වීම පිණිස සෑම පාසැලක් මගින් ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කරනු ලබයි.මෙම පසුබිම තුළ දෘෂ්‍ය හා ශ්‍රවනාබාධිත දරුවන් මෙහිදී මුහුණ දී සිටින්නේ බරපතල ගැටලුවකටය.

ආබාධිත තත්ත්ව‍යේ පසුවන දරුවන්ට ඉගැන්වීම් කරනු ලබන විශේෂ පාසැල් මගින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කරනු ලැබුවත් එය ග්‍රහණය කර ගැනීමේ හැකියාව අතින් අබාධිත තත්ත්වයේ පසුවන දරුවන්ට ඇත්තේ අඩු හැකියාවකි. ඒ සඳහා ගැටලු කිහිපයක්ම බලපා තිබේ.එකක් නම් දෑස් නොපෙනෙන හා ශ්‍රවනාබාධ ඇති දරුවන්ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කරනු ලබන ඉගැන්වීම ග්‍රහණය කර ගැනීම අසීරු වීමය.අනෙක් කාරනය වන්නේ අදාළ පාසැල් වල ඉගැන්වීම් කරන බහුතරයක් ගුරුවරුද ශ්‍රවන හා දෘෂ්‍ය ආබාධ වලින් පෙලීමයි. ඔවුන්ටද ඔන්ලයින් තාක්ෂණය මගින් කරන  ඉගැන්වීම් පිළිබඳ නිසි පුහුණුයක් නැත.මේ ආකාර පසුබිමක් තුළ සාමාන්‍ය තත්ත්වයේ පසුවන දරුවන් කොවිඩ් තත්ත්වය හමුවේ නිවෙස් වලට වී අකුරු කරත්දී ආබාධිත තත්ත්වයේ පසුවන දරුවන්ට නිවෙස් වලට වී සුසුම් හෙළන්නට සිදුව තිබේ.මෙය එක්තරා අන්දමකින් එම දරුවන්ගේ මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි.

එක්සත් ජාතීන්ගේ සම්මුතිය

ආබාධ සහිත පුද්ගලයින්ගේ හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට 2016 වසරේදී ශ්‍රීලංකාවත් අත්සන් තැබූ නමුත් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම පිණිස මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බව ශ්‍රීලංකා ජාතික දෘෂ්‍යොබාධිත සම්මේලනය පවසයි. බොහෝ අසීරුතා මධ්‍යයේ අධ්‍යාපනයේ විවිධ කඩඉම් පසු කළද ඔවුන්ට රැකියා ලබා දෙන්නට ක්‍රමවත් වැඩපිළිවෙළක් බලයේ සිටි කිසිදු රජයක් විසින් ක්‍රියාත්මක නොකිරීමේ අවසන් ප්‍රතිපලය බවට පත්ව තිබෙන්නේ අබාධ සහිත පුද්ගලයින් අධ්‍යාපනය ලැබීමෙන් දුරස් වීමය.

උපකෘත ගණයට වැටෙන අබාධිත දරුවන් සඳහාම වෙන්කළ පාසැල් වල විෂය භාහි ර කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම හැර කිසිදු පහසුකමක් ලබා දෙන්නේ නැත.ලොව පුරා අන්තර්කරණය නොඑසේ නම් සාමාන්‍යය දරුවන් සමඟ එකම පන්ති කාමරයක අබාධිත දරුවන්ටද අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව මෙරටද අවධානය යොමුව තිබුණත් එම  වැඩපිළිවෙළ තවමත් පවතින්නේ ළදරු මට්ටමකය.

උපකෘත පාසැල්

දෘෂ්‍යාබාධිත හෝ ශ්‍රවනාබාධිත දරුවකු උපකෘත පාසලකින් අපොස සාමාන්‍යය පෙළ සමත්ව උසස් පෙළ සඳහා සාමාන්‍යය පාසැලකට ඇතුළු වීමට යාමේදී දෙමව්පියන් හා දරුවා පත්වන අසීරුතාව දන්නේ ඊට මුහුණ දෙන්නන්ම පමණි.ජනප්‍රිය යැයි කියන ඇතැම් පාසැල් වල ගේට්ටුවෙන් ඇතුළට මෙම දරුවන් ඇතුළු කර ගැන්මට පවා විදුහල්පතිවරු අකමැතිය.පැසැල් යන වයසේ පසුවන සෑම දරුවකුම පාසැල් ගත කිරීම දෙමව්පියන්ගේ හෝ බාර කරුවන්ගේ වගකීම වන අතර එසේ නොකරන අවස්ථාවක ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අධිකරණමය ක්‍රියාවලියක් ඔස්සේ දඬුවම් පැමිණවීමේ හැකියාව රජය සතුය.එසේ වුවත් ආබාධිත දරුවන් වෙනුවෙන් එම නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.

පුද්ගල වයස් කාණ්ඩ සැලකීමේදී පාසැල් වයසේ පසුවන (අවුරුදු 05-19 අතර ) දරුවන් 88740 ක් ශාරිරික හා මානසික අපහසුතා වලින් පෙළෙන බව ජන හා සංඛ්‍යා ලේඛණ වාර්තාව අනුව හෙළිදරව් වන අතර ඉන් ළමුන් 30308 ක් කිසිදු අධ්‍යාපන කටයුත්තක නොයෙදෙයි.ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු (05-09) වයස් කාණ්ඩයේ දරුවන් 31525 ක් අතරින් කිසිදු අධ්‍යාපන කටයුත්තක නොයෙදෙන සංඛ්‍යාව 6404 කි.එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 20.3 % කි.කිසිදු අධ්‍යාපන කටයුත්ක නොයෙදෙන අබාධිත පිරිස අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා ඔවුන් ලබන අධ්‍යාපනයට නිසි වටිනාමක් ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතුය.සාමාන්‍යය දරුවකුට වඩා වැඩි අවධානයක් දෙමව්පියන් විසින් ආබාධිත දරුවකු වෙනුවෙන් දැක් විය යුතුය.එවැනි දරුවකුට අධ්‍යාපනය ලබා දීමේදී ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති.එවැනි දුෂ්කරතා මධ්‍යයේ ලබන අධ්‍යාපනයට නිසි වටිනාකමක් සමාජයෙන් නොලැබෙන්නේ නම් අබාධිත දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා  ඔවුන්ගේ මව්පියන් තුළ පවත්නා උනන්දුවද අඩු වීමේ අවධානමක් තිබේ.

  පුරුෂ ස්ත්‍රී
වයස් කාණ්ඩය සංඛ්‍යාව අනුපාතය (1000 කට) සංඛ්‍යාව අනුපාතය (1000 කට)
05-09 16991 19.3 14554 16.8
10-14 14910 18 12617 15.6
15-19 15174 18.5 14494 17.6
20-24 15050 20.3 12760 16.1

ආබාධිත දරුවන් බොහෝ විට අධ්‍යාපනය ලැබීම ආරම්භ කරන්නේ වයස අවුරුදු 05 ඉක්මවා තවත් වසර දෙක තුනක් ගිය පසු බවත් මේ නිසා ඔවුන්ට විෂය නිර්දේශ අවාරණය කිරීමේදී අවුරුදු 24 ක පමණ කාලයක් අධ්‍යාපනය ලබා දීමට සිදුවන බවත් මහනුවර සෙංකඩගල අද බිහිරි පාසැලේ සාමාන්‍යාධිකාරී ධූරයේ කළක් කටයුතු කළ ඩී.බී ගමගේ මහත්මිය පවසයි.පාසැල් යන වයසේ පසුවන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පනස් දහසකට වැඩි පිරිසක් සමාජයේ සිටින බවත් මොවුන් ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ප්‍රවනාතවත් පවතින නමුත් අබාධිත බව නිසාම එම සිදුවීම් බොහොමයක් පොලීසි වලට වාර්තා නොවන බවත් ඇය කියයි.

අඳ බිහිරි පාසැල්

විජේසිංහ

දොඩම්වෙල අඳ බිහිරි විඳුහලේ උප ගුරුවරයකු ලෙස සේවය කරන ආර්.ජී විජේසිංහ මහතා දෘෂ්‍යාබාධිතය.ඔහු හඬ අවදි කළේ මෙසේය…අපේ ඉස්කෝලේ දරුවෙක් වසර කිහිපකට කළින් සාමාන්‍යය පෙළ ඒ සමාර්ථ 06 ක් එක්ක විභාගය ඉහළින් සමත් වුණා.මේ ළමයින්ට උසස් පෙළ කරන්න වෙනම පාසැල් නැහැ.ඒ නිසා සාමාන්‍යය දරුවන් සමඟ එකට තමයි ඉගෙන ගන්න ඕන.අපේ පාසලේ දරුවා උසස් පෙළට ඇතුළත් කර ගන්න මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පසැල් වල විදුහල්පතිවරු කවුරුවත් කැමැති වුණේ නැහැ.මේ අන්ධ දරුවට සම්මුඛ පරීක්ෂණයක‍ට පවා අවස්ථාවක් නොදී සමහර විදුහල්පතිවරු පාසැලේ ගේට්ටුවෙන් එළියේ තිබ්බා.  එක විදුහල්පතිවරයෙක් කිව්වා උසස් පෙළ ගුරුවරු අන්ධ ළමයකුට උගන්වන්න කැමැති නැහැ කියලා.මේකද සමාජ සාධාරණත්වය.අබාධිත දරුවන් සාමාන්‍යය දරුවන් හා එක්ව එකම පන්ති කාමරයක අධ්‍යාපනය ලබාදෙන වැඩපිළිවෙළක් අන්තර්කරණ වැඩපිළිවෙළ නමින් ක්‍රියාත්මක වෙනවා.විදුහල්වල ඒකට ඉඩක් නැහැ.ශ්‍රී ලංකාවේ මහ සමාජය තාමත් අබාධිත පිරිස් තමන්ගේම කොටසක් ලෙස භාර ගන්න සූදානම් නැහැ.ආබාධිත පුද්ගලයින් හා පොදු සමාජය කියන්නේ දෙකක් නොව එකක්.අද ආබාධිත අයෙකුට බැංකු ක්‍රෙඩිඩ් කාඩ් පතක් ගන්න ගියාම පුදුම අපහසුතාවයකට පත් වන්න සිදු වෙනවා.

මුදල් රෙගුලාසි පනත් වල අබාධිතයින්ට බැංකු කාඩ් පත් අහිමියි කියලා කොතනකවත් කියලා නැහැ.අද හොඳට ඉන්න කෙනෙක් හෙට ආබාධිතයෙක් වෙන්න පුළුවන්.ආබාධිත බව කොතන කොහොම කාට වෙයිද දන්නේ නැහැ.රාජ්‍යය සේවයේ ඉතා ඉහළ රැකියාවක් කළ අයෙකුට පවා කන් ඇසීම,ඇස් පෙනීම නැති වයසත් එක්ක ඇති වෙන්න පුළුවන්.තමනුත් කවදා හෝ ආබාධිතයකු වෙන්න ඉඩක් තියෙනවා කියලා හිතලා තීන්දු තීරණ ගන්න කියලා මම දේශපාලනඥයින්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලනවා. මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ අබාධිත ජන කොටසක් ඉන්නවාද කියන එකත් අමතක කරලා.මේ නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හෝ මූලික අයිතියක් ලෙස ආබාධිතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා නම් ඒක ඉතාම වැදගත්.

ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධිත සම්මේලනයේ සම ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ…

ප්‍රසන්න වික්‍රමසිංහ

මම දොඩම්වෙල අඳ බිහිරි පාසැලේ වැඩ කරලා මාරුවක් ලබලා නුවර ප්‍රාථමික පාසැලකට ගියා.මට වැඩ බාර දෙන්න විදුහල්පතිවරිය කැමැති වුණේ නැහැ.ඇස් පේන්නේ නැති මම ළමයින්ට කොහොමද උගන්වන්නේ කියන ප්‍රශ්නය ඒ අයට තිබ්බා.පස්සේ මම ඒ පාසලට ගිහින් වැඩ කරනකොට හැමෝම පැහැදුනා.ඇස් පේන්නේ නැති වුණාට අපිට වැඩ කරන්න පුළුවන්.ඒක මේ සමාජය මුලින් තේරුම් ගන්න ඕන.පාසැලේ ක්‍රීඩා තරඟ,ගුරු දින උත්සව හැම එකක්ම මම සංවිධානය කළා.පස්සේ මම තවත් පාසැලකට මරු වීමක් ගන්න ගියාම විදුහල්පතිනිය අස්වීම දෙන්න කැමැති වුණේ නැහැ.ඒ මම හොඳට වැඩකළ නිසා.මාරු වීම ඉල්ලපු පාසැලේ විදුහල්පති මට වැඩ බාර දෙන්න හුඟක් උනන්දු වුණා.එකම සිද්ධියකදී විදුහල්පතිවරු දෙදෙනා දෙවිදිහකට ක්‍රියා ක‍ළේ.

මූලික අයිතිවාසිකම්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  සම්පාදනය කිරීමට යහ පාලන ආණ්ඩු සමයේ පත්කළ මහජන අදහස් විමසීම සඳහා වන කමිටුවේ සභාපති අධි නීතීඥ ලාල් විජේනායක:  

ලාල් විජේනායක

නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවට අබාධිත පුද්ගලයින්ගේ විශේෂ අවශ්‍යතා පිළිබඳව කණ්ඩායම් කිහිපයක්ම කරුණු ඉදිරිපත් කළා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියලු දෙනාටම පොදුවිය යුතු බව හැමෝම කිව්වා.ව්‍යවස්ථාව තුළින් මිනිසුන් අතර ඇති වෙනස්කම් මානව විවිධත්වයේ කොටසක් ලෙස පිළිගත යුතු බවද පෙන්වා දුන්නා.ඒකට පදනම් විය යුත්තේ බහුවිධ සමාජත්වයන් පිළිගන්නාවූ දැක්මක්.විශේෂයෙන් වෙනස් හැකියා ඇති අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම වැදගත්.ආබාධිතයින් කියන්නේ වෙනස් හැකියාවන් ඇති පිරිසක්.මනුෂ්‍යත්වයේ හා මානව විවිධත්වයේ කොටසක් ලෙස දුබලතා සහිත පුද්ගලයින් පිළිගෙන ගරු කළ යුතුය. අයිතිවාසිකම් පිළිබඳ පනතේ ආබාධිත පුද්ගලයින් සමබන්ධව විශේෂ කොටසක් ලෙස කරුණු අඩංගු කරන්න යෝජනා වී තිබෙනවා.බහුවිධ ආකාරයට වෙනස් ලෙස සැලකීමේ අත් දැකීම් විඳින පිරිමි හා ගැහුණු සියලු ආබාධිතයින්ට සත්‍යය වශයෙන්ම සමානාත්මතාව ලඟා කර ගැනීමට අවශ්‍යය විශේෂ පියවර ගැනීම සඳහා ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුළ තිබිය යුතුයි.ශ්‍රී ලංකාවේ දැනට ඇති ආර්ථික සාමජීය හා දේශපාලන අයිතිවාසිකම් ආබාධිත පුද්ගලයින්ටද බේදයකින් තොරව අතිවිඳීමේ අවකාශ තිබිය යුතුයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේවා ඇතුළු කරන්න කියලා අපි නිර්දේශ කරලා තිබෙනවා.ව්‍යවසථා සභාවෙන් මෙහෙයුම් කාරක සභාවක් පත්කළා.ඒ මෙහෙයුම් කාරක සභාව මගින් අනු කමිටු හයක් පත්කළා.මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටුව ඉන් එකක්.ඒ කමිටුවත් වාර්තාවේ තිබෙන ආබාධිතයින්ගේ අයිතිවාසිකම්  පිළිගෙන තිබෙනවා.ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ දුරට ඒවා ඇතුළත් වෙන්න ඉඩක් තිබෙනවා.රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ආබාධිත අයෙකුගේ ආබාධිත බව සලකා වෙනස් ලෙස සලකන්න බැහැ.බැංකු ලිපිකරු රැකියාවකට ඉල්ලුම් කළොත් කකුලක ආබාධයක් නිසා ඒ රැකියාව අහිමි වෙනවා නම් ඒක වැරදියි.කතා කරන්න බැරි,කන් ඇහෙන්නේ නැති කෙනෙකුට නිවේදක රැකියාවක් කරන්න බැහැ.ඒක හරි.ඒ රස්සාවට ඔහු හෝ ඇය නොගැලපෙන්න පුළුවන්.එහෙත් ඔවුන්ට කරන්න පුළුවන් රැකියා තිබෙනවා.ප්‍රශ්නය වෙන්නේ ඒ රස්සාවල් වලටත් මේ අය නොගන්නා එකයි.තමන්ට රැකියාව නොලැබුණේ ආබාධිතයෙක් වීම නිසා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මූලික අයිතිවාසිකම් නඩුවක් ගෙනි යන්න පුළුවන්.මේක ව්‍යවස්ථාවේ වෙනම තිබුණොත් ඒක ශක්තියක්.නොතිබු‍ණොත් අයිතිවාසිකම් ඉල්ලන්න අයිතියක් ලැබෙන්නේ නැහැ.ඇස් නොපෙනුනාට කන් නොඇසුනාට ඒ අය කොන් කරන්න බැහැ.අපිට වගේම අයිතියක් ඒ අයටත් තිබෙනවා.පවතින ව්‍යවස්ථාව මගින් ආබාධිත අයිතිවාසිකම් සපුරාලීම සම්බන්ධයෙන් රජයට ලොකු බැඳීමක් නැහැ. මේ නිසා පවතින යෝජනා ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න බලපෑමක් සමාජයෙන් එන්න ඕන.අබාධිත අයගෙන් පමණක් නොවෙයි සාමාන්‍යය ජනතාව ගෙන්ද මේ සඳහා හඬක් ආ යුතුයි.මානසික රෝගීන් විශාල පිරිසක් සමාජයේ ඉන්නවා.ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන මානසික රෝගීන්ට දැන් බො‍හෝ වෙලාවට ගල් ගහන එක.ව්‍යවස්තාව තුළ ආබාධිත අයිතීන් මූලික අයිතියක් ලෙස ඇතුළත් වුණොත් අසාධාරණයක් සිදුවූ අවස්ථාවක ඒ අයට අධිකරණය හමුවට යන්න පුළුවන්.යම් පුද්ගලයකු වෙනුවෙන් සමිතියකට සංවිධානයකට වුණත් ඒ කටයුත්ත කරන්න පුළුවන්.

අබාධ සහිත ජීවත් වන පිරිස් මේ සමාජයේ අප හා සමාන අයිතිවාසිකම් ඇති පරිසක් බවට තර්ක අවශ්‍ය නැත.එසේ වුවත් සාමාන්‍යය පුද්ගලයකු ලබන අයිතිවාසිකම් ඒ අකාරයෙන්ම විශේෂ අවශ්‍යතා ඇති අයදට හිමි වන්නේද යන්න ප්‍රශ්නයකි.බොහෝ අවස්ථාවල ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර ඒ සම්බන්ධව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමේද අවධානය යොමුව තිබේ.අබාධ සහිත වූවන්ගේ ප්‍රවේශ පහසුකම්  ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවා තිබියදී තවමත් රාජ්‍යය ආයතන පවා එය නොසලකා හරිමින් ඉදි කිරීම් සිදු කරන බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී කුමුදුනී විතාන මහත්මිය පවසයි.

අබාධිත බව සමග වෛද්‍ය,ඉංජිනේරු හෝ කළමණාකරණ උපාධි පාඨමාලා හැදෑරීමේ පහසුකම් නොමැති නිසා මෙරට විශේෂ අවශ්‍යතා ඇති අය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වන්නේ කලා අංශයෙන් පමණි. රැකියා ගැනීමට යාමේදී මෙය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ සාමාන්‍යය තත්ත්වයේ පසුවන අති විශාල පිරිසක්ද කලා උපාධියක් ලැබ විරැකියාවෙන් පෙළෙන බැවිනි.බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමටත් ඉන් පසු සුදුසුකම් මත රැකියාවක් ලබා ගැනීමටත් අවශ්‍යය පසුබිම සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින විශේෂ අවශ්‍යතා ඇතතෝ  රජයට කියන්නේ තමන්ට අවශ්‍යය අනුකම්පාව නොව සාධාරණත්වය බවයි.

සටහන හා ඡායාරූප – කේ.ඩබ්ලිව් අසේල   

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *