ඇල්ල, 53ක් ස්වයං නිරෝධායනයට

ඇල්ල සංචාරක කලාපයේ හෝටල් 04ක සේවයේ නියුතු 53දෙනෙකුගෙන් යුක්ත පිරිසක් එම හෝටල්වලම ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. ඒ දින 14ක කාලයක් සඳහා. ඊට හේතුව කොරෝනා ආසාධිතයින් යැයි කොළඹදී තහවුරු වූ ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා ඇල්ල ප්‍රදේශයේ මෙකී සංචාරක හෝටල්වල නැවතී සිටි බව අනාවරණය වීම නිසා. මේවනවිට ඔවුන් තිදෙනා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ අතර ඔවුන් හා සෙසු පිරිස ඇසුරු කළ වෙනත් අය ඇතිද යන්න ගැන විමර්ශන සිදු කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ජර්මානු සංචාරක පිරිසක් සමඟ හබරණ සහ මහනුවර හෝටල්වල දෙදින බැගින් නවාතැන් ගෙන සිටි මඟ පෙන්වන්නෙකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වීම නිසා ඉකුත් 15 වෙනිදා ඔහු නවාතැන් ගෙන සිටි බණ්ඩාරවෙල නගරයේ පිහිටි හෝටලයක සේවකයින් 11 දෙනෙකුද මේ වනවිට හෝටල් කාමර තුළම නිරෝධායනයට ලක්කර තිබෙනවා. ඔවුන් ඇසුරු කළ පිරිස පිළිබඳවද සොයා බලන නිසා ජනතාව අනවශ්‍ය භීතියක් ඇතිකරගත යුතු නැති නමුත් අනවශ්‍ය ගමන් බිමන් නොයා සිටීමටද, සෙනඟ ගැවසෙන තැන්වලින් ඈත්ව සිටීමටද වගබලා ගතයුතු බව අප වාර්තාකරු සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් පවසනවා.